කටුනායකින් රටවල් හතකට කුඩු බෙදන ‘කාන්තාවන්ගෙන් සමන්විත’ ජාත්‍යන්තර කල්ලිය

කටුනායක ගුවන් තොටුපොළ හරහා විදෙස් රටවල් හතකට මත්කුඩු බෙදාහරින බංග්ලාදේශ කාන්තාවන්ගෙන් සමන්විත ජාත්‍යන්තර කල්ලියක තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය හා බංග්ලාදේශ රජය එක්ව කළ විමර්ශනයකදී අනාවරණය වී තිබෙනවා.

මේ තත්ත්වය මත වහාම කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් රටවල් බලා පිටව යන පර්යන්තයට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ජාත්‍යන්තර කුඩු කල්ලිය බංග්ලාදේශයේ සිටින අරීස් නමැති ආසියාවේ කුඩු බෙදා හරින නායකයා විසින් මෙහෙයවා ඇති අතර මොවුන් පාකිස්තානුවන් මෙන් රැඳී සිටිමින් ලාඕසය, චීනය ඔස්සේ නැගෙනහිර පළාතට මත්කුඩු රැගෙන නව මුහුදු මාර්ගයක් උපයෝගී කරගෙන ලංකාවට රහසේ ගෙනැවිත් බංගලි කාන්තාවන් යොදා කටුනායකින් විවිධ රටවලට රැගෙන ගොස් තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළේ දූෂිත නිලධාරීන්ගේ සහාය මැද 2017 වසරේ සිට චීනය, මැලේසියාව, බංග්ලාදේශය, ඉන්දියාව, තායිලන්තය ඇතුළු රටවලට බංගලි කාන්තාවන් විසින් මත්ද්‍රව්‍ය රැගෙන ගිය බවට අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කුඩු ජාලයට අයත් රොහාන් අක්තර් නමැති බංගලි කාන්තාවක් කුඩු කිලෝ දෙකහමාරක් සමග චීනයේ ඇංහයි ගුවන් තොටුපොළේදී පසුගියදා කොටු වුණා.

පසුගිය දෙසැම්බරයේ සංචාරක වීසාවලින් පැමිණි කුඩු ජාවාරමේ නිරත බංගලි කාන්තාවන් දෙදෙනකු කේක් පෙට්ටිවල ඇසුරු කුඩු කිලෝ 31ක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය අල්ලා ගන්නා ලද අතර ඒ වන විට ලංකාවේ සැඟවී සිටින කාන්තා කල්ලිය මෙහෙයවූ නායිකාව බංග්ලාදේශයට පැන තිබුණා.

එම විමර්ශනයට මෙරටට පැමිණි බංග්ලාදේශ ආරක්ෂක අංශ සමග බංග්ලාදේශයට ගිය මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් කළ දීර්ඝ විමර්ශනයකින් මෙම ජාවාරම හෙළි කරගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *