කිරිකල 50ක් නාලා ලක්ෂ 37ක සුරයක් දාලා දියමන්ති කොල්ලෙට ආපු මධුෂ්ගෙ මැනේජර්

ශ්‍රී ලංකාව තුළදීත් ඩුබායි රාජ්‍යයේදීත් පසුගිය දිනවල වැඩිම කතාබහට ලක්වූයේ රුපියල් කෝටි හත්සියයේ දියමන්තිය ගැනයි. ආසියාවේ විශාලම මංකොල්ලය බව කියූ ආන්දෝලනාත්මක දියමන්තියේ රහස මෙම සතියේදී කරළියට එන්නේ පානදුරෙන්ය.

ඇල්පිටියට නුදුරු පිටිගල, බොරළුහේනේ පදිංචිව සිටි මාකඳුරේ මධුෂ්ගේ පැරණිම සගයා වූ කැවුමා සමඟ දියමන්තිය කොටු කරගත්තේ සාර්ථක බුද්ධි මෙහෙයුමකින්ය.

බැලූ බැල්මට ඔහු ප්‍රකෝටිපතියෙකි. බොරළුහේන පන්සලේ කඨින පින්කමට පමණක් වැය කළ මුදල රුපියල් ලක්ෂ හැට පහකි.

ඔහු ළඟ සැරිසරන මුදල් කන්දරාව අනුව මෙය ඔහුට අබ ඇටයක් තරම්ය. තම කරේ පැලඳි සුරයට පමණක් වියදම් කළ මුදල රුපියල් ලක්ෂ තිස්හතකි. විද්‍යුත් මාධ්‍යවලින් ජේ‍යාතිෂය ගැන නිතර කතාබහ කරන සුප්‍රසිද්ධ ජේ‍යාතිෂවේදියකු මෙම ලක්ෂ තිස්හත ගෙවා මෙය දැම්මේත් පුද සත්කාර මැදය. කිරි ලීටර් පනහකින් ස්නානය කර, පලතුරු පූජා මැද සත්කාර මැද කැලුම් සුරය පලඳින්නේය.

අප්‍රිකාවේ කොංගෝ වනයේ සිංහයකුගේ තෙල් මෙහිලා ඇති බව ජේ‍යාතිර්වේදියා කියන්නේය. පොල්ගෙඩියකුත් කරකවා ලක්ෂ තිස්හතකට විදින්නේය.

පන්සලේ පින්කමට ලක්ෂ හැටක් වියදම් කරන, කරේ බැඳි සුරයට ලක්ෂ තිස්හතක් වියදම් කරන මේ අරුම පුදුම ප්‍රකෝටිපතියා නමින් කැලුම් ඉන්දික සම්පත්ය. පිටිගල, බොරළුහේන, ඉහළ හෙවෙස්ස පාර උපන්ගමය. මේ වන විට එම මාර්ගය තවලම දක්වාම දිගු කර ඇත.

කැළුම් ඉන්දිකගේ පියා හිටපු පොලිස් නිලධාරියෙකි. යහපත් සාමකාමී පුද්ගලයෙකි. ඉන්දික දස වසරක සිර දඬුවමක් ලබා පැමිණි බවද පිටිගල, බොරළුහේන, හත්තක, ඉහළ හෙවෙස්ස ප්‍රදේශවල වැසියෝ හොඳින් දනිති.

ඉන් පසුව ඔහු යහපත් දිවි පැවැත්මකට හුරු වී සිටි බව කාගේත් විශ්වාසය වී තිබිණි. මධුෂ්ගේ අපරාධ ජාලයේ සියලු කටයුතු මෙහෙයවන අතරේ ඉන්දික හැසිරුණේ ඉතා ගුණ යහපත් පුද්ගලයකු හැටියටය. ඒ අතරේ නිරත වන ව්‍යාපාර ඇසුරෙන් සැලකිය යුතු ධනයක් උපයාගෙන ධාර්මික ජීවිතයක් ගෙවන බව ඔහු බොරලුහේන ගමටද ඒත්තු ගන්වා තිබිණි.

ඔහු ප්‍රකෝටිපතියෙක් වන්නේ මාකඳුරේ මධුෂ් නිසාය. මධුෂ්ගේ ජාලයේ සිටි විශ්වාසවන්තම කෙනාද මොහු බව නොකියා බැරිය. රුපියල් කෝටි හත්සියයක් වටිනා බව කියන දියමන්තිය කොල්ල කෑ පසුව එය පරිස්සමට යවන්නේත් කැලුම් හෙවත් කැවුමා වෙතටය. ඒ මධුෂ්ට තිබූ විශ්වාසය නිසාය.

එදා මෙදා තුර කැලුම් ගෙව්වේ සැඟවුණු චරිතයකි. මධුෂ්ගේ කුඩු ජාවාරමේ මෙහයුම්වලින් බහුතරයක් මෙහෙයවූයේද කැලුම්ය. කැලුම් මධුෂ්ගේ කල්ලියේ සිටින සැඟවුණු චරිත අතර සිටින ප්‍රබලම එකෙක් බව කිව හැකිය. ඒ ඔහු සිටින තැන තම ඥාතියකුටවත් දැනගන්නට ඉඩ නොතැබූ නිසාය.

2005 වසරේ පටන් හිරගෙදරින් ගමන අරඹන කැලුම් වසර දහයක අච්චුවක් විඳින්නේ, මාකඳුරේ මධුෂ් සමඟය. මාකඳුරේ මධුෂ් සමඟින් දකුණේ එකට හැදෙන වැඩෙන මොහු බස් කොන්‍ෙදාස්තරකම කරද්දී මධුෂ් එහි රියැදුරාය. පාතාල ලොවට පිවිසෙන්නට පෙර මාකඳුරේ මධුෂ් පාසල් අධ්‍යාපනය අතැර සමන්තුරේ ගරාජයක වැඩ කළ සේවකයෙකි. පසුව මාතර රෝහලේ සුළු සේවකයකු විය. එදා, සාමාන්‍ය පවුලක උපන් තරුණයකු වූ මධුෂ් ලක්ෂිත අද රටම කතා කරන පාතාල නායකයකු බවට පත්ව සිටින්නේය. මත්කුඩු ජාවාමෙන්, කප්පම් ගැනීම්, කොන්ත්‍රාත් මිනිස් ඝාතන මතින් කරළියට පැමිණි මාකඳුරේ මධුෂ් ප්‍රකෝටිපතියකු වන්නේ ඩුබායි රාජ්‍යයට පැනගත් පසුවය.

රටපුරාම මත්කුඩු බෙදාහරින ජාවාරමට අතගැසූ මාකඳුරේ මධුෂ් තම කුඩු තොග කංජිපාන ඉම්රාන් ඇතුළු කණ්ඩායම්වලට බෙදාහැරීම භාරදුන්නේ කැලුම්ටය. කැලුම් තම විශ්වාසවන්තයා වූයේය. කඹුරුපිටියේ හර්ෂ නම් වූ මධුෂ්ගේ වෙඩික්කාර මිතුරා මෙන්ම කැලුම්ද මධුෂ් තදින්ම විශ්වාස කළේය.

මේ නිසාම මසකට කෝටි දෙකක් කැලුම්ගේ සුඛවිහරණයට මධුෂ්ගෙන් ලැබුණේය. ඒ කුඩු තොග පිටින් ප්‍රවාහනය කිරීමේ සිට මුදල් එකතු කරදීම දක්වා මධුෂ්ගේ සියලු පරිපාලන කටයුතු මෙහෙය වූයේ කැලුම් නිසාය.

කැලුම් ප්‍රභූ ජීවිතයක් ගත කළේ මේ කියන කුඩු විකුණා ලැබෙන මුදල්වලින්ය. අවුරුදු දහයක්ම හිරේ දුක් වින්ද කැලුම් කම්සුව සොයා යන්නේ මෙම කුඩු රකුසාට බිලිදී උපයන මුදලින්ය.

කරන පව් සේදෙන්නට ගමේ පන්සලේ සියලු පින්කම්වලට ලක්ෂ ගණනින් අතදිගහැර වියදම් කරන්නට නොපැකිළුණේත් ඒ මුදල් තම දුක් මහන්සියෙන් ඉපයූ ඒවා නොවූ නිසාය. ගමටත්, නගරයටත් ප්‍රභූවරයකු ලෙස පෙනී සිටි කැලුම් මේ වනතෙක් පාතාල මර්දන කණ්ඩායම්වල ලැයිස්තුවේත් නොසිටි අයකුද වූයේය. රහසිගතව ජීවත්වුණු කැලුම් කිසිදා නොසිතූ අයුරින් පෑලියගොඩ කොට්ඨාස අපරාධ ඒකකය කොටු කරන්නේ මෙම සතියේය. ඒ නිකම්ම නොවන්නේය. දෙස් විදෙස් කතාබහට ලක්වූ රුපියල් කෝටි හත්සියයේ දියමන්තියද සමඟිනි.

දියමන්තිය සොයාගිය පොලිස් කණ්ඩායම් රුපියල් කෝටි එකහමාරක මුදල් තොගයක් සොයාගන්නේ පිටිගල, බොරළුහේනේ කැලුම්ගේ නිවෙස පසුපස වළදමා තිබියදීය. කැලුම්ගේ මව පදිංචිව සිටියේ මේ නිවෙසේය.

දියමන්තිය සඟවා තැබුණේ කැලුම් සැඟ වී සිටි පානදුර කෙසෙල්වත්තේ නිවෙසේය. එය කුලී පදනම මත ගත් ඇනෙක්සියකි. ඉන්ජිනේරුවකු මෙන් පෙනීසිටි කැලුම් එම ඇනෙක්සියේ අල්මාරියක් තුළ දියමන්තිය හා තමාගේ රන් ආභරණද සඟවා තැබුවේය. එහි වූ මාලය, අත්පලඳනාව හා මුදු කිහිපයේ බර රන් පවුම් හතළිහකට අධිකය. එහි තවත් මල්ලක තිබී ජංගම දුරකථන එකසිය තිස්හතක්ද හමුවිය. ඒ සියල්ල එක් එක් අපරාධවලට යොදාගත් ඒවාය.

කැලුම් කෙසෙල්වත්තේ නිවෙසට අමතරව තම ආරක්ෂාවට තවත් ගෙයක් කුලියට ගත්තේ මොරටුව, අල්විස් පෙරේරා මාවතෙන්ය. මංකොල්ලයක් සඳහා අවශ්‍ය හමුදා නිලඇඳුම්, අවි ආයුධ හා උණ්ඩ සඟවා තැබුවේ එම නිවෙසේය.

මේ අයුරින් කුලී ගෙවල් කිහිපයක් ගෙන රහසිගතව සැඟවුණු කැලුම් ගැන මුල්වරට හෙළිවන්නේ කැලුම්ගේ ඥාති පුතකු ගැන කැලණිය පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් ඔස්සේ විමර්ශන කරන අතරතුරය.

රහසේ කසුන් හා හේමාල් නමැති දෙදෙනා කොට්ඨාස අපරාධ ඒකකය හා කැලණිය විශේෂ කාර්යාංශය එක්වී අත්අඩංගුවට ගන්නේ කඩුවෙලින්ය. කසුන්ගේ බාප්පා කැලුම් ඉන්දික, සම්පත් හෙවත් කැවුමාය. කසුන් රනාලේ පදිංචිකරුවකු විය. රනාල යනු කඩුවෙල රනාලේ සමයංගේ බලකොටුවය. කසුන්ව තම වැඩවලට සහායට යොදාගන්නට කැලුම් තීරණය කරන්නේ ඥාතිකමටය. බාප්පා හා පුතා එක්ව කළ රහසිගත මෙහෙයුම්වලට අලුතින් එක්කරගන්නේ කඩුවෙල හේමාල්ය.

හේමාල් ජංගම දුරකථන අලුත්වැඩියා හා පරිගණක අලුත්වැඩියා කරන වෙළෙඳසලක හිමිකරුවෙකි. හේමාල්ට පරිගණක ක්ෂේත්‍රයේ තිබුණේ අසීමිත දැනුමකි. රනාලේ සමයං සමඟ එකට පන්තියේ අකුරු කියූ හේමාල් කඩුවෙල පාතාලයෙන් මිදුණත් දකුණේ පාතාලයෙන් ගිලිහී යන්නට බැරිය.

හේමාල්ගේ දක්ෂකම් හඳුනාගත් කසුන් හේමාල්වත් මෙහෙයුම්වලට එක්කරගත්තේ ඔහු ඉදිරි මෙහෙයුම්වලට අත්‍යවශ්‍යම නිසාය. පොලිසිය හෝ අපරාධ විමර්ශන කණ්ඩායම් දුරකථන විෂ්ලේෂණය කරමින් අපරාධකරුවන් කොටු කරන බව අපරාධ ලෝකයම දන්නා කාරණාවකි. මේ නිසාම එයින් ගැල වී ආරක්ෂිතව සිටින්නට කැලුම්ට හේමාල්ගේ සහාය නොමැතිව බැරිවිය.

මේ අතර මධුෂ්ගේ පියාගේ මළගෙදර සජීවීව දැකගන්නට කැමරා සවිකළ පුද්ගලයා හේමාල් බව කැලණිය පොලිස් විශේෂ කාර්යාංශයේ සැරයන්වරයකුට බුද්ධි තොරතුරක් විය.

ඒ මත රහසිගතව හේමාල්ව කඩුවෙලින් අත්අඩංගුවට ගත්තේ හේමාල්ව අල්ලාගත්තේ කවුදැයි සිතන්නට ඉඩක් නොතබාය. තමාට වැරැදුණු බව දැනගත් හේමාල් සියල්ල වමාරන්නට වූයේය.

මළ ගෙදරට වීඩියෝ කැමරා සවිකළ සිද්ධියට ඇල්ලූ හේමාල්ගෙන් දියමන්තිය ගැන තොරතුරු ගලා එන්නට විය. තමාව ඇල්ලුවේ දියමන්ති කොල්ලයට ප්‍රශ්න කරන්නට බව බිය වී හේමාල් සියල්ල වපුරන්නට වූයේය. දියමන්තියක් කපන්නට සොයන වගක් මේ වනවිට පෑලියගොඩ කොට්ඨාස අපරාධ ඒකකයට තොරතුරු වූයෙන් මධුෂ් කොල්ලකෑ දියමන්තියේ සුලමුල ගැන හෙළිකරන්නට හැකි විය.

හේමාල්, කැලුම් හා කසුන් පිළියන්දල සිටියදී කොල්ලකාගෙන ආ දියමන්තිය මාතර මල්ලි කැලුම්ට දුන් මොහොතේ හේමාල් එය අතට ගත්තේය මටත් පොඩ්ඩක් බලන්න දෙන්නකෝ කියා හේමාල් එය අතටම ගෙන බලා කැලුම්ට දුන්නේය.

දියමන්ති කොල්ලයට ගිය හේමාල්ව ඊට පෙර කැලුම් විවිධ ප්‍රදේශවලින් කුඩු සල්ලි එකතු කරන්නට යැව්වේද කසුන් සමඟය. මෙතරම් රහසිගතව මුදල් එහා මෙහා ගෙනයන්නේ කුඩු ජාවාරමක් බව ඔවුන්ද දැන සිටියේය.

‘බාප්පා මොනවා හරි හොර ගේමක් ගහනවා නේද?’ යි කඩුවෙල හේමාල් කසුන්ගෙන් ඇසුවේද මේ සැකය තහවුරු කරගන්නටය. කසුන්ටද එය සඟවා ගත නොහැකි විය.

තම බාප්පාගෙන් ගැලවී යෑමට කසුන් අකැමැති වන්නේ ඔහුට මුදල් යහමින් වූ නිසාය.

මධුෂ්ගේ කල්ලියේ අපරාධවලට තොරතුරු තාක්ෂණික උපදේශකවරයකු මෙන් එක්කර ගන්නේ හේමාල්වය. හේමල්ට මේ වෙනුවෙන් කැලුම් රුපියල් ලක්ෂ තිහක් දෙන්නේ දුරකථන අලෙවිසල සැක නොහිතෙන්න කරගෙන යන්නටය.

‘කසුන් ඉස්සරහට ෆෝන්වල ප්‍රමෝෂන් එකක් එනවා. ලොකු බල්ක් එකක් ගත්තොත් ගේමක් ගහගන්න පුළුවන්. මචං මට බාප්පාගෙන් ණයට ලක්ෂ තිහක් අරන් දීපන්කෝ’ යැයි හේමාල් තම මිතුරා කසුන්ට බැගෑපත් විය.

මෙතුවක් කල් තමන් සමඟ හොර ජාවාරම් සියල්ලට රහසිගතව එක්වූ කසුන්ට එම ඉල්ලීම ඉටු කරදීමට බාප්පා පිහිට විය. ණයට ගත් මුදල එකවර ගෙවීමට හේමාල්ට අපහසු විය. හේමාල්ට ගෙවාගත හැකි වූයේ ලක්ෂ පහළොවක් පමණකි. ඉන්පසු හේමාල්ට කැලුම්ගෙන් ගැලවී යා නොහැකි විය. කැලුම්ගේ ඉත්තකු ලෙස සියලු දේ කරදෙන්නට වූයේ ලක්ෂ ගණන ගෙවා ගත නොහැකි වෙද්දීය.

හැම කුඩු ගනුදෙනුවකටම කැලුම්ට ෆෝන් පහ, දහය ගත්තේ හේමාල්ගෙන්ය. හේමාල් විවිධ නම්වලට සියලු දුරකථන ඔහුට ලබාදුන්නේය.

දියමන්තියේ කොල්ලයේ භාරධුර වගකීමක් හේමාල්ට පවරන්නේ ඔහු කැලුම්ගේ ඉත්තකු වී හමාර නිසාය.

‘අපිට රොබරියකට ස්මාට් ෆෝන් දෙකක් අරන් ට්‍රැකින් දාගන්න කියලා මධුෂ් කියනවා. අපිට හොඳ ජීප් එකක් හරි කැබ් එකක් හරිත් ඕනෑ වෙනවා.’ කැලුම් කොල්ලයට සූදානම් වන්නට කසුන්ට උපදෙස් දෙන්නේ හේමාල්ගෙන් සහාය ගන්නටය.

මෙතෙක් කල් කුඩු සල්ලි ගෙන එන්නට හේමාල් විසින් කුලී රථ සපයන තැන්වලින් වාහන කුලියට රැගෙන විත් තිබුණේය. කුලී වාහන සපයන මුවාවෙන් සිටි හේමාල් තමාගේ වාහනත් කුඩු ජාවාරමට යොදා ගත්තේය.

ලංකාවේ විශාලතම කුඩු තොගය මුහුද මැදදී ඉරාන නැවක්ද සමඟින් කොටු කළ මත්ද්‍රව්‍ය හා පාතාලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන දක්ෂ නිලධාරියකු තමා පදිංචි ප්‍රදේශය අයත් නවගමුව පොලිසියට පැමිණ ඇති වග හේමාල්ද දැන ගත්තේය.

ජංගම දුරකථන අලුත්වැඩියාවට දක්ෂ තරුණයකු ලෙස කඩුවෙල ප්‍රසිද්ධව සිටි හේමාල් පොලිසියේ අයගේ ජංගම දුරකථන පවා අලුත්වැඩියා කරදී තමාට හිතවත් කරගන්නට උත්සාහ කළේය. පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දන ඒකකයේ සිට කඩුවෙල පාතාලය ම¾ඩින්නට නවගමුවට එවූ පොලිස් පරීක්ෂක මංජුල සිල්වා මහතා හමුවන්නට හේමාල් යන්නේද පොලිසියේ අයගේ සැන හැඳුම්කම් මතය.

පාතාල මර්දනයට හා කුඩු ජාවාරමට එරෙහි මෙම නිලධාරියාට ළංවෙන්නට හේමාල් උත්සාහ කළේ මධුෂ්ගේ කීමටද යන්න දැන් ඇති සැකයය. කුඩු ජාවාරමුන්ගේ ඉලක්කයක් බවට පත්ව ඇති මෙකී නිලධාරියා ඝාතනය කරන්නට බන්ධනාගාරගත පාතාලය ගත් උත්සාහයන් කිහිපයක්ම ගැන අධිකරණයේදී හෙළි වී තිබුණේය.

මාකඳුරේ මධුෂ්ගේ පියා මරණයට පත්වූ දා මධුෂ්ට ඩුබායි සිට පියාගේ මළ ගෙදර සජීවීව බලන්නට කැමරා සවිකරන්නේ හේමාල්ය. එයට මුදල් දෙන්නේත් කැලුම්ය. හෙලිකොප්ටර්වලින් මල් ඉස පියාට අවසන් බුහුමන් දක්වන්නට මධුෂ්ගේ කීමට මුදල් වියදම් කළේත් කැලුම්ය.

ඉකුත් වසරේදී මධුෂ්ගේ ඉරණම තීන්දු කරන මංකොල්ලයක් කරන්නේ දෙවුන්දරදීය. කොල්ල කන්නේ හෙරොයින් කිලෝ 138ක්ය. වටිනාකම ගත්තොත් රුපියල් කෝටි එකසිය තිස් අටකට අධිකය. බඩු ටික ඩුබායි සිටින කිරුළපනේ කුඩු මෙරිල්ගේය. මෙරිල් එවපු කුඩු තොගය පොලිස් නාකොටික් ලෙසින් ගොස් මංකොල්ල කන්නේ මධුෂ්ගේ උපදෙස් මතය. කොල්ලයට යන්නේ එජාප ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු පිරිසකි. මේ කියන කුඩු තොගය ගැන තොරතුරු ලැබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් එහි යනවිටත් මධුෂ්ගේ කණ්ඩායම එම රාජකාරිය කලින්ම ඉටුකර අවසන්ය. ඇත්ත නාකොටික් නිලධාරීන් එහි යනවිටත් මෙරිල්ගේ කුඩු තොගය මධුෂ්ගේ හොරා පොලිස් නාකොටික් කණ්ඩායම කොල්ලකා අවසන්ය. එදා කොල්ලකෑ කුඩු තොගය කොළඹට රැගෙන ආවේත් කැලුම්, කසුන් හා හේමාල් තිදෙනාය.

මධුෂ්ගේ ඩුබායි බිරියගේ ඉල්ලීමට නාකොටික් අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට වෙඩි තබන සැලසුම කරන්තේත් කැලුම්ය. කැලුම්ගේ සැලසුමට අනුව පිළියන්දලදී වෙඩි තබන්නේ මධුෂ්ගේ බිරිය එවූ ඔත්තුකරුවකුගේ ඇමට කොටු කරමිනි. මීගමුවේ ෆේරොස් නමැති පාතාල නායකයාගේ කල්ලියේ අයකු මෙහි ඔත්තුවට යොදවන්නේය. මහරගම කළු තුෂාරගේ විවාහක බිරිය වන මධුෂ්ගේ දෙවැනි කසාද බිරිය ඩුබායි සිට රංගජීව ඝාතන තැතට නියෝග කරන්නේ තුෂාරගේ පළිය ගන්නටය.

මේ සියලු සිදුවීම්වල පසුපස සැඟවුණු චරිතය වූ කැලුම්ට දියමන්ති කොල්ලයට උපදෙස් දෙන්නේත් මධුෂ්ය. එම උපදෙස් අනුව කැලුම් තම සහායට කසුන් හා හේමාල්ව ද එක් කරගත්තේය. බියගමින් කැබ් රථයක් කුලියට ගෙන හේමාල් හා කසුන් ඇරැව්වල කොල්ලය සඳහා එන්නේ තාක්ෂණික මෙහෙයුමක් උදෙසාය.

ඇන්ඩේ‍රායිඩ් තාක්ෂණය ඇති ජංගම දුරකථන මිලදී ගන්නේ අලුතින්මය. ඒවාට වෙනමම ඇප් යොදා දුරකථනය අතෙහි ඇති පුද්ගලයා ඉන්න තැන හඳුනාගන්නට සැලසුම් කරන්නේ හේමාල්ගේ සහාය මතය.

හේමාල්ගේ දුරකථන ඇප් එකෙන් මෙහෙයුම සිදුවන යන එන ආකාරය හඳුනා ගැනීමට අමතරව මධුෂ් වෙඩිකන්දේ කසුන්ව වෙනමම මෙහෙය වීය. වෙඩිකන්දේ කසුන්ට තිබුණේ ආයුධයක් ගෙනගොස් දී මංකොල්ලය හරියට වෙනවා දැයි බලාසිටීමය. ඒ වෙනුවෙන් මධුෂ් රුපියල් ලක්ෂයක් ගිණුමට දැමුවේය. මධුෂ් දියමන්ති කොල්ලයට හා එය නිරීක්ෂණය කිරීමට එකිනෙකා නාඳුනන කණ්ඩායම් දෙකක් යොදන්නේ රහසිගත බව රකින්නටය.

මාතර මල්ලි, නාලක හෙවත් ලොකු ඇතුළු පිලට ඔස්ටි්‍රයානු ජාතිකයකු ලංකාවට එවන්නේ දියමන්ති මිලදී ගන්නට ආ අයකු ලෙසය. මීගමුව හරහා විදේශිකයා රැගත් පිරිස මංකොල්ලයට එන අයුරු හේමාල් නිරීක්ෂණය කළේය. ඉන්පසු මධුෂ්ට තොරතුරු සැපයුවේය.

පොලිස් වැටලීම් කණ්ඩායමක් මෙන් මාතර මල්ලි ඇතුළු කණ්ඩායම ඇරැව්වල, පන්නිපිටියේ දියමන්ති හිමිකරුගේ නිවෙසට යන්නේ සැලසුම් ප්‍රකාරවය. මධුෂ් එවූ ඔස්ටි්‍රයානු ජාතිකයා මධුෂ්ම දුන් බේ‍රා්කර් සමඟ දියමන්තිය සුපරික්ෂා කරද්දී මාතර මල්ලි ප්‍රධාන කොල්ල කල්ලිය කඩා වැදුණහ.

සැලසුමට අනුව නොවැම්බර් 05දා දියමන්තිය සමඟ එම ව්‍යාපාරිකයා සතු මැණික් තොගයද කොල්ලකාගත් පිරිස පලායන්නේ පොලිස් වෙසින්මය. විදේශිකයා හා මඟ පෙන්වන්නා මහමඟ බස්සවා කොල්ල කල්ලිය එන්නේ පිළියන්දලටය.

පිළියන්දලදී පැමිණ කැලුම්ට දියමන්තිය හා කොල්ලයට ගෙනගිය ගිනි අවි තුන දෙන්නේ මාතර මල්ලිය. එතැනින් එහාට කැලුම් දියමන්තිය රැගෙන හේමාල් හා කසුන් සමඟ මධුෂ්ගේ නියෝග මත ක්‍රියාත්මක විය. මොරටුව බලා කැබ්රථයේ යන තිදෙනාගෙන් කැලුම් මොරටුවෙන් දියමන්තිය හා බෑගය රැගෙන මඟදි බැස ගත්තේය. කැලුම් තම ඥාති පුතාට හෝ හේමාල්ටවත් ඉන්නා තැනක් ඇඟෙව්වේ නැත. වාහනයෙන් බැස ටික දුරක් පයින් ගොස් ත්‍රිරෝද රථයක් හෝ ටැක්සි වාහනයකින් නිවෙස ආසන්නයට ගොස් නැවත පයින්ම යෑම කැලුම්ගේ සිරිතය. කැලුම් එතරම් ප්‍රවේශම් වූයේත් තමා ගැන රටට නොදැනෙන්නටය.

රටේම කතාබහ කළ කොල්ලය ගැන විමර්ශන ඇරැඹූයේ ඉන්පසුවය. මහරගම හා මිරිහාන පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය මඟින් ඇරැඹි විමර්ශනවලදී නාලක හා මාතර මල්ලි කොටු කරගත්තේය.

එහිදී කියැවුණේ කොල්ලකන ලද දියමන්තිය හා අනෙකුත් දෑ පිළියන්දලට ගෙනගිය පසු දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව ළඟදී තවත් කණ්ඩායමකට භාරදුන් වගය. ඒ ඔස්සේ මිරිහාන විශේෂ ඒකකය ඩුබායි රාජ්‍යයට දියමන්තිය රැගෙන ගියාද යන්න ගැන දීර්ඝ විමර්ශනයක් ඇරැඹූහ. දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව සැකකරන ඩුබාහි ගිය රයන්, අමල් ඇතුළු ආරාධිත කණ්ඩායම අතේ එය යැවූ බවට සැකය විය.

මාකඳුරේ මධුෂ් මේ ඇරැව්වල දියමන්තිය හිමි ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් දී කියා තිබුණේත් එය දැන් තමා ළඟ බවය. දියමන්තිය විකුණා හිමිකරුටත් සාධාරණයක් ඉටු කරන බවය.

ඩුබායි ගෙනගිය බව කියන දියමන්තිය යළි ගෙනැවිත් ඔපමට්ටම් කිරීමට අයකු සොයන බවට තොරතුරු ලැබෙන්නේ මේ අතරතුරය. ඔත්තුවෙන් කියවෙන්නේ බත්තරමුල්ලේ අයකුට රුපියල් කෝටියක් දෙන පදනමින් දියමන්තිය කපන්නට සොයන බවය.

හේමාල් හා කසුන්ගෙන් ලද තොරතුරු මත නාවලපිටිය, දඹුල්ල, මැණික්හින්න, පිටිගල, මොරටුව ප්‍රදේශවල රැයක් දවාලක් නොබලා ගිය පොලිස් කණ්ඩායමට රහසිගත මෙහෙයුමකින් කැලුම් කොටුවිය.

කැලුම් අල්ලාගත් මොහොතේත් නිවෙසෙන් හමුවූ දුරකථන එකසිය තිස්හතම රහසිගත මෙහෙයුම්වලට වෙන වෙනම තබාගත් ඒවාය. එයින්ම සැඟවුණු මොළකරුගේ විමර්ශන නිලධාරීන්ගෙන් ගැලවී යන උපක්‍රමය පසක් වන්නේය. කුමන උපක්‍රම යෙදුවත් ගහට ගහක් මොරටුවේදී මුණ ගැසෙන්නාක් මෙන් අපරාධකරුවන්ටද ගැලවී යා නොහැකි බව පසක් වන්නේ මෙම විමර්ශනයේදීය.

මාකඳුරේ මධුෂ්ගේ සගයා වූ කැලුම් දියමන්තිය ගැන අපූරු හෙළිදරව්වක් කරන්නේ ප්‍රශ්න කිරීමේදීය.

මේක ඔස්ටි්‍රයානුකාරයකුට අයිති එකක්. ඇරැව්වල පුද්ගලයා කියන්නේ බොරුවක්. මේක වැලියු කරන්න බැරි එකක් සර්. මේක වෙන්දේසියකින් උස්සපු දියමන්තියක්. ලංකාවට අරන් එද්දි මාට්ටු වෙන්න යද්දි ගෙනාපු එකා බයට පොඩි ගාණකට ඇරැව්වල මෑන්ට විකුණලා. මේ ගල අයිති ඔස්ටි්‍රයානුකාරයා දියමන්ති වෙළෙන්දෝ හරහා හොය හොයා ඉද්දි ලංකාවේ තියෙන බව හෙළිවෙලා තියෙනවා. ඊට පස්සේ තමයි ලංකාවේ පාතාලයේ සහාය පතන්නේ. ඩුබායිවලදී මධුෂ්ව කන්ටැක් කරලා කෝටි 350ක් දෙන්නම් ගල අරන් දෙන්න කියනවා. මේක හොරකම් කරපු ගලක්. ඒක අපි අරගත්තොත් කෝටි 350ක් ලැබෙනවා කියලා මධුෂ් කිව්වා.

ඊට පස්සේ ඒ කන්ට්‍රැක්ට් එක අරගෙන මධුෂ් අපිව දාලා දියමන්තිය ගත්තා. ගල අයිති ඔස්ටි්‍රයානුකාරයාගේ ගෝලයෙක් තමයි කොල්ලයට ආපු සුද්දා. උෟව එව්වේ ඇත්ත දියමන්තියද කියලා අඳුනගන්නයි. අපි ගල කොල්ලකෑවට පස්සේ මධුෂ් ඔස්ටි්‍රයා එකාට කතා කරලා වැඩේ හරි කෝටි තුන්සිය පනහ දෙන්න කිව්වා. ඊට පස්සේ ඒ සුද්දට සල්ලි නැහැ කියූ නිසා තමයි මධුෂ් ගල තියාගත්තේ යැයි කැලුම් ඉන්දික පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි කළ අලුත් කාරණාය.

මෙම දියමන්තිය අයිති බව කියන ඇරැව්වල පුද්ගලයා වන ඩේවිඩ් පොලිසියට කියන්නේ තවත් කතාවකි. ඒ තමාට රට සිටියදී ඊතණ පඳුරක් අසල තිබී ගල හමු වූ බවය.

‘මම ගල ගෙනැල්ලා ලස්සනට මාළු ටැංකියක දාලා අවුරුදු ගාණක් තිබ්බා. දවසක් අපේ ගෙදර ආපු ප්‍රොෆෙසර් කෙනෙක් මාළු ටැංකියේ තියෙන දිස්නේ ගහන ගල ගැන අහලා පැය හතරක් චෙක් කළා. මේක ඩයමන්ඩ් එකක් කියලා දැනගත්තේ ඊට පස්සෙයි. මේක රුපියල් මිලියන 5,000ක් වටිනවා කියලා දැනගත්තේ වැලිවේෂන් එකක් ගත්තාමයි.’ මේ දියමන්තිය හිමිකම් කියන ඇරව්වල පුද්ගලයා කියන කතාවය.

මේ කියන කතාවල ඇත්ත නැත්ත හා දියමන්තිය සැබෑම එකක්ද යන්න තහවුරු වන්නේ පොලිස් පරීක්ෂණවලින්ය. දියමන්තිය මේ කියන තරමටම වටිනා එකක් නම් එය ආසියාවේ විශාලතම කොල්ලයද වනු ඇත.

– පුබුදු වික්‍රමතිලක –

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *