කොස්තාපල් කැලණි සරසවි සිසුවියකගේ ඇඳුම ගලවන්න කියුවැයි විරෝධතා

කැලණි විශ්වවිද්‍යාලයේ ආරක්ෂක මුර කුටියේ රාජකාරියේ නිරතව සිටි නාවික හමුදා සෙබළකු එම විශ්වවිද්‍යාලයේ සිසුවකුට තර්ජනය කර පපුවට ගිනි අවියක් එල්ල කිරීමේ සිද්ධියකට විරෝධය පළ කිරීමට ඊයේ (10දා) දහවල් කැලණි විශ්වවිද්‍යාලයේ සිසුහු උද්ඝෝෂණයක නිරත වූහ.

කැලණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සුදේශ් මදුශංක ශිෂ්‍යයා සිද්ධිය පැහැදිලි කරමින් මෙසේ පැවැසිය.

“පළමු වසරේ ඉගෙනුම ලබන අපේ සහෝදර සිසුවියක් යුද හමුදා (කැමා) ටිෂර්ට් පෙනුමට සමාන ටිෂටයකින් සැරසී පසුගිය 10 වැනිදා කැලණි විශ්වවිද්‍යාලයට එන විට විශ්වවිද්‍යාලයේ ආරක්ෂක මුරකුටියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු එම ටිෂර්ට් එක ගලවන ලෙස සිසුවියට පවසා තිබෙනවා.

තරුණියක් කොහොමද ඇය ඇඳගෙන සිටින උඩුකය ඇඳුමක් ගලවා ඉගෙනගන්න යන්නේ. බහින්බස් වීම දුරදිග යද්දි පෙම්වතියගේ ගැටලුවට සහායට පැමිණි ඇගේ පෙම්වතා බව කියන අපේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකුගේ පපුවට ඒ අවස්ථාවේ මුරකුටියේ සිටි නාවික හමුදා සෙබළකු තුවක්කුව එල්ල කරමින් තර්ජනය කර තිබෙනවා. ඒ තර්ජනයත් ගාල්ල පාසලේ වගේ වුණා නම් මොකද වෙන්නේ.

මේ වනකොට කැලණි විශ්වවිද්‍යාලයේ පඤ්ඤානන්ද නේවාසිකාගාරය හමුදාවෙන් සෝදිසි කරනවා. අපි පාලනාධිකාරිය දැනුවත් කළා. ඔවුන් ගැටලුව මඟහරිනවා. ඒ නිසායි විරෝධතාව කළේ” යැයි ශිෂ්‍ය සංගම් සභාපතිවරයා පැවැසීය. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණි සිසුන් විරෝධතාවයේ නිරත වූ අතර කිරිබත්ගොඩ පොලිසිය නීතිය හා සාමය රැකීමට රාජකාරියේ නිරතව සිටියේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *