“ලස්සන කොල්ලෙක්..යන්නේ වැඳලා. “-කැවුමාට ලක්‍ෂ 37ක සුරයක් දැමූ බව කියන ජ්‍යෝතීර්වේදියා කියන කතාව

මාකඳුරේ මධුෂ්ගේ දකුණු අත ලෙසින් සිටි කැවුමා නොහොත් කැලුම් නමැත්තා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබී රුපියල් ලක්‍ෂ 37ක් විදයම් කර පැළඳුවේ යැයි කියන සුරයක් පිළිබඳව පොලිසිය විසින් හෙළිදරව් කරනු ලැබුවා.

එම සුරය සකස්කර දුන් බවට යැයි කියැවෙන ජ්‍යෝතීර්වේදියා ක්‍රිෂාන් නිලංග සමග සති අන්ත පුවත්පතක් කරන ලද සාකච්ඡාවක දී ඔහු සඳහන් කර ඇත්තේ තමන්ගේ නම කියවී තිබුණ ද රුපියල් ලක්‍ෂ 37ක සුරයක් ලබා නොදුන් බවයි.

“කියැවිලා තියෙන්නේ නම් මගේ නම.ලක්‍ෂ 37ක් දීලා සුරයක් දාගන්නවා කියන්නෙත්, ඒ වගේ ගානක් අයකරල සුරයක් දානව කියන්නෙත් ලේසි වැඩක් නෙමෙයි. සුරය දාගන්න කෙනෙයි, සුරය හදන කෙනෙයි දෙන්නම ‘සුර-සැප’ විඳින අය වෙන්න ඕනේ.මගේ නම එතැනදි කියැවුනාට, මම නම් ඔය කියන විදිහේ ලක්‍ෂ 37ක සුරයක් කාටවත් දාලා නැහැ. ඒ කතන්දරය සම්පූර්ණයෙන්ම බොරු.

කැවුමා කියන නමක් නම් මම දැනගෙන හිටියේ නැහැ. ඒත් ඔය කැලුම් කියන පුද්ගලයා මගෙන් කේන්දර බලාගත්ත කෙනෙක්.මිනහා මං ඉස්සරහට ආවෙ බොහොම සුන්දර චරිතයක පෙනුමකින්. ලස්සන කොල්ලෙක්. මැණික් ව්‍යාපාරිකයෙක් කියලා තමයි මට කිව්වේ. කනට ඇහෙන්න වචනයක් කථා කරන්නේ නැහැ. ඇවිල්ලා වාඩිවෙන්නේ වැඳලා. ආපහු යන්නේ වැඳලා. බොහොම යටහත් පහත් හැසිරීම් තිබුණු මනුස්සයෙක්. මොකද මිනිහගෙ පරම්පරාවම මගෙන් කේන්දර බලල තියෙනවා. ඒත් මිනිහ ගැන කිසිම දොසක් කියැවිලා නැහැ කාගෙන්වත්. ඔය ආරංචිය ආවහම මට අදහගන්නත් බැරිවුණා.”

කේන්දරයෙන් ඔහු සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට නොහැකි වුණා ද යන්නට ඔහු ලබාදී තිබුණේ මෙවන් පිළිතුරක්.

“කේන්දරෙන් මනුස්සයෙක්ගෙ හැම දෙයක්ම පේන්නේ නැහැනේ. ඒක අපි කව්රුත් දන්න දෙයක්. හැබැයි පලාපල ටික බලල ඒ ඒ කාලයට මොකද්ද එයාට වෙන්න පුළුවන් දේ කියලා කියන එකයි, ඒකට අදාළ වත් පිළිවෙත් ටිකයි කියන්න පුළුවන්.
මම ඒක බලලා ‘පුතෝ, හිරේ විලංගුවෙ වැටෙන තත්ත්වයක් නම් ඉස්සරහට පෙන්නනවා. හතර හංදි කැඩෙන්නත් පුළුවන්. එන කාලෙ නම් හොඳ නැහැ’ කියලා කිව්වා. එතකොට ‘ඉඩමකට වුණු ආරවුලක් නිසා දැනටමත් නඩුවක් නම් තියෙනවා’ කියලා මිනිහ උත්තර දුන්නා.”

ඔය කියන විදිහට ලක්‍ෂ ගණන්වල සුර ඔබ ළඟ නැති වුණාට වෙන කෙනෙක් ලවා හරි කරගන්න, ඒ ගණන්වල සුර ඔබ නිර්දේශ කරනවා ද යන්න පුවත්පත් කලාවේදියා විමසා තිබුණා.

“කීයටවත් නැහැ. ඔය වගේ ලක්‍ෂ තිස්ගාණක සුරයක් හදනවා නම් කීප දෙනෙක්ම ඒ වෙනුවෙන්ම මාස ගාණක් කැප වෙලා, පේ වෙලා කරන්න වැඩ ගණනාවක් තියෙනවා. ඒක සෙල්ලම් වැඩක් නෙමෙයි. මේ වගේ කාලෙක ඒ වගේ දේවල් ප්‍රායෝගික නැහැ.

ඔය වගේ මුදලක් යනවා නම් යන්නේ මහාමාතාංගේෂ්වර සුරයකට. මං දන්න යන්ත්‍ර විද්‍යාවෙ හැටියට නම් ඒ වගේ යන්ත්‍රයක් සකස් කරන්න, ගොම මැටි ගාපු ගෙයක් ඒ වෙනුවෙන්ම හදාගන්න ඕනේ. ඒකෙ රඹකැන් හිටවන්න ඕනේ. මල් පැළවල් හදන්න ඕනේ. උඩුවියන් පාවඩ සකසන්න ඕනේ. මාස හතරක් පහක් එකදිගට පේ වෙලා තුන් හතර දෙනෙක් ඒකතුවෙන් ඒක ජීවං කරන්න ඕනේ. මේ ඔක්කොම බැලුවහම ඒ වගේ වැඩක් ලක්‍ෂ තිස්පහෙනුත් බැහැ. අද කාලෙ හැටියට ලක්‍ෂ 60ක් 70ක් යන වැඩක්.”

ඔය කියන විදිහේ සිංහ තෙල් තියෙන සුර දැම්මේ නැතිනම්, ක්‍රිෂාන් නිලංග ජ්‍යේතීර්වේදීතුමා දාන සුරයකට අයකරල තියෙන වැඩිම ගාන කීයද යන්න විමසීමේදී ඔහු සඳහන් කර ඇත්තේ ‘රුපියල් 23,500යි’ යනුවෙනුයි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *