දකුණු අප්‍රිකාව පරදමින් කුසල් වාර්තා රැසක් පිහිටුවලා..වසර 25 ක වාර්තාවකුත් බිඳ දමලා

දකුණු අප්‍රිකාව පරදවා ශ්‍රී ලංකාව විශිෂ්ඨ ටෙස්ට් ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමග වාර්තා කිහිපයක් පිහිටුවීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

කුසල් සහ විශ්ව විසින් වසර 25 ක වාර්තාවක් ද ඒ අනුව අලූත් කරනු ලැබුවා.

ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම කණ්ඩායමක් (සිව්වැනි ඉනිමේ) හඹා ගිය ලකුණු සංඛ්‍යාවක් අතරතුර අවසන් කඩුල්ලට පිහිටවූ ලොව හොඳම සබඳතාව කුසල් පෙරේරා සහ විශ්ව ප්‍රනාන්දු විසින් පිහිටුවනු ලැබුවා.

ඔවුන් දෙදෙනා අවසන් කඩුල්ලට පන්දු 95 කදී ලකුණු 78 ක නොබිඳුනු සබඳතාවක් පිහිටුවමින් වසර 25 ක් පැරණි වාර්තාවක් අලූත් කළ අතර එම පැරණි වාර්තාව පාකිස්තානයේ ඉන්සමාම් උල් හක් සහ මුස්තාක් අහමඞ් සතුව පැවතුණා.

ඒ 1994 දී ඔස්ට්‍රේලියාවට එරෙහිව අවසන් කඩුල්ල වෙනුවෙන් පැවැත්වු ලකුණු 57 ක සබඳතාවයි.

ලොව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක් කඩුල්ලකින් ජය ගත් 13 වැනි තරගය ලෙස මෙය ඉතිහාස ගත වුණා.

අවසන් වරට එක් කඩුල්ලකින් ටෙස්ට් තරගයක් ලොව ජය ගත් අවස්ථාව 2010 වසරේදී වාර්තා වී තිබුණා.

ඒ ඉන්දියාව විසින් ඔස්ට්‍රේලියාවට එරෙහිවයි. ශ්‍රී ලංකාව මීට පෙර 2006 දී එක් කඩුල්ලකින් ටෙස්ට් තරගයක් කොළඹදී ජයගැනීමට සමත්ව තිබුණු අතර එම ජයග්‍රහණයද දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා කළා.

දකුණු අප්‍රිකාවට එරෙහිව තරගයක් ජය ගැනීම වෙනුවෙන් ප්‍රතිවාදී රටක පිතිකරුවකු සිව්වැනි ඉනිමේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවද කුසල් පෙරේරා මෙහිදී වාර්තා කළා.

ඒ අනුව පෙරේරා විසින් වසර 69 ක් පැරණි අදාළ වාර්තාවද බිඳ දැමූ අතර මීට පෙර 1950 වසරේදී ඔස්ට්‍රේලියාවේ නීල් හාර්වේ විසින් ලකුණු 151 ක් ලබා ගනිමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.

ශ්‍රී ලංකාවේ පිතිකරුවකු සිව්වැනි ඉනිමේදී ජයග්‍රහණය වෙනුවෙන් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වන අතර මීට පෙර අරවින්ද ද සිල්වා 1998 දී සිම්බාබ්වේට එරෙහිව ලකුණු 143 ක් ලබා තිබුණා.

මීට අමතරව සිව්වැනි ඉනිමේදී වැඩිම ලකුණු ලබාගත් ලොව පළමු පිතිකරුවන් දස දෙනා අතරටද කුසල් පෙරේරා එක්ව සිටිනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *