ඊ. කුෂාන් CIDයට වෙන ම කතාවක් කියයි

තමන් ඕමාන් රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවාසය භාරව කටයුතු කරමින් සිටියදී ආශා දිසානායක යන අය එම රටේදී ශ්‍රී ලාංකික කාන්තාවන් ගෙන්වා කරනු ලැබූ වංචාවලට අදාළව පරීක්ෂණ සිදුකර ඇයව ලංකාවට පිටුවහල් කිරීමට කටයුතු කළ බවට එම තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස කටයුතු කළ සැකකාර කුෂාන් යන අය ප්‍රකාශ ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (දෙසැ. 1) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ හමුවේ කරුණු අනාවරණය කළේ ය.

ඕමාන් රටේ ගෘහ සේවිකා රැකියා සඳහා යැයි පවසමින් මෙරට කාන්තාවන් එරටට ගෙන ගොස් ගණිකා වෘත්තියේ යෙදවූවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ඊයේ දින කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස අධිකරණයට කරුණු වාර්තා කළේ ය.

ඊයේ දින නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පසුගිය දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටී ආශා දිසානායක සැකකාරිය ද අධිකරණය හමුවේ පෙනී සිටියා ය.

එහිදී අනෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් විමර්ශනයන් සඳහා මෙම සැකකාරිය ද ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන බවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. එදිරච්චාරිගේ කුෂාන් යන සැකකරු විසින් විමර්ශනවලදී ප්‍රකාශ ලබා දී ඇති අතර එහිදී තමා 2021 අගෝස්තු 4 වන දින සිට 2022 නොවැම්බර් 20 දින අතර කාලය තුළ ඕමාන් තානාපති කාර්යාලයේ තුන්වන ලේකම්වරයා ලෙස කටයුතු කළ බව ත් ආශා දිසානායක සැකකාරිය එම රටේ ශ්‍රී ලාංකික කාන්තාවන් ගෙන්වා ගෙන කරනු ලැබූ වංචාවලට අදාළ වන ඇය පිළිබඳ පරීක්ෂණයක් සිදුකර එම රටින් ඇයව පිටුවහල් කිරීමට කටයුතු කළ බවට එම ප්‍රකාශවලින් අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.

එසේ ම. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව ත් මෙම සියලු සැකකරුවන් විමර්ශන කටයුතු කර ගැනීම සඳහා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *