ගීතයකින් ඇසෙන ලයාන්විත බව හෝ ස්වර පරාසයන්හී පිහිටිමක් නැතිව ගීයක් ගැයෙන විට ඒ කෙරෙහි ඇල්මක් ඇති වන්නේ නැත. එවැනි ගී ගයන ඇගේ හඬ නෑසූ කෙනකු දැන් සමාජ ජාලයේ සොයා ගැනීම අසීරුය. විටෙක ඇයට ලැබෙන්නේ බැනුම් වරුෂාවකි. තවත් විටෙක කෙනෙක් ඇයට ගරහති. නුමුදු මේ කිසිවක් ගණන් නොගන්නා ඇය තමන්ගේ පාඩුවේ ගීත ගායනා කරන්නීය. ඒ තම විනෝදය වෙනුවෙනි. මෙතරම් නින්දා ගැරහුම් අවමාන ලබද්දී ගැහැනියක වූ ඇය එයට මුහුණ දෙන්නේ කෙසේද? ඇය පිළිබඳ සිතේ උපන් දුක නිසාම ඈ ගැන සොයන්නට හිත වෙහෙසුණි.
‘කුවෙට් කුමාරි’ (කුමාරි අක්කා) නමින් මුහුණූ පොතේ යූ ටියුබයේ මෙන්ම අන්තර්ජාලයේ ප්‍රසිද්ධ ඇයගේ ගීතයක් මුල්වරට අසන්න සැලැස්සුවේ චූල රන්ජීව අධිකාරි සොහොයුරාය. ඉන්පසු මා ඇය ගැන විමසිලිමත් විමි. ඒ ඇය පිළිබඳ තොරතුරු සෙවීමටය. එනමුදු දිනපතා කුමාරිගේ අලුත් සිංදු සොයන්නෝ බොහෝය. හරියටම නම නොදන්නා ලංකාවෙන් බොහෝ ඈතක සිටින ඇය ගැන තොරතුරක් සොයා ගැනීමට ටිකක් කල්ගතවිය. අවසානයේ අපට ඇය පිළිබඳ තොරතුරු ලබා දුන්නේ ඉතාලියේ වෙසෙන යොවුන් ගායන ශිල්පි ලලී සමරු සමරක්කොඩිය.
“කුවෙට්වල නිශාන්තට කතා කරන්න ඔහු කුමාරි අක්කා සම්බන්ධ කරලා දෙයි.”
ලලී කී ලෙසම අප නිශාන්ත සංජීව මඩපාතට කතා කළෙමු.
“අපි හැම අවුරුද්දෙම කුවෙට්වල නිදහස් උත්සවය යෙදෙන පෙබරවාරි 25 වැනිදා ඒ වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් පවත්වනවා. මේ ප්‍රසංගයට ලංකාවෙන් ශිල්පීන් ගෙන්වනවා. මෙවරත් අපි එය සංවිධානය කළා. මාලන්, අලි, දිනිර, සංජු, නන්දන කියන යාළුවෝ තමයි මා එක්ක මේ වැඩේට සම්බන්ධ වෙන්නේ. අපි මේ පාර ආරාධනා කළේ රණා විත් ඕරා බෑන්ඩ් එකට. රණා තමයි යෝජනා කළේ කුමාරි අක්කාව මේ ප්‍රසංගයට ගෙන්වමු කියලා. ඒ අනුව තමයි අපි කුමාරි අක්කාට අවස්ථාවක් දුන්නේ. සමහරු බැන්නට ඇය අහිංසක කාන්තාවක්.” එසේ තොරතුරු කියමින් නිශාන්ත අපට කුමාරි අක්කා සම්බන්ධ කර දුන්නේය. මුලින් ඇය අප හා කතා කළේ සැකයෙනි. ඒ අප කවුදැයි කියා හරියටම නොදන්නා බැවිනි.
කුවෙට් කුමාරි නමින් හැඳින්වූව ද ඇගේ සැබෑ නම එය නොවේ.
“මගෙ නම ජයසීලි හේවගේ. ගාල්ල, මද්දේවල, ඇත්කඳුර මගෙ ගමයි. මම රට ආවේ මගෙ දරුවෝ වෙනුවෙන්. දැන් මගේ වයස අවුරුදු පනහයි. මට මගේ ජීවිතේ හංගන්න දෙයක් නැහැ. ගමේ හැම කෙනෙක්ම වගේ මං ගැන දන්නවා. මට දුවලා දෙන්නකුයි පුතකුයි ඉන්නේ. විවාහ වෙන කොට මට වයස අවුරුදු දහනවයක් විතර ඇති. සාමාන්‍ය පෙළ දක්වා විතරයි ඉගෙන ගන්න ලැබුණේ.”
අඩු වයසින් විවාහ වූ ඔබේ ජීවිතය ගෙවුණේ කොහොමද?
“මම ජීවිතේ කවදාවත් සැපක් ලබපු කෙනෙක් නෙමෙයි. මගේ අම්මා වතු වල වැඩට ගියා. මමත් අම්මා එක්ක වතු උදුලු ගාන්න ගියා. විවාහ වුණ දවසට පහුවදා ඉඳලා මමත් කුලී වැඩට ගියා. මම සැමියා බීමට ඇබ්බැහි වෙලා හිටියේ. ඔහුගෙන් හරියට හිරිහැර තිබුණා. අන්තිමට මම දරුවෝ දාලා රට ආවා. ඒ වෙන කොට මට ජීවිතේ එපා වෙලා තිබුණේ. මගේ කොදු ඇට පේලියේ සැත්කමක් කරලා තියෙන්නේ. වෛද්‍යවරු මට කිව්වා බර වැඩ කරන්න එපා කියලා. නමුත් ජීවත් වෙන්න යමක් තියෙන්න ඕන. ඒ නිසා මම රට ආවා. මම මුලින්ම හිටියේ ජෝර්දාන්වල. පසුව තමයි කුවෙට් වලට ආවේ.”
සින්දු කියන්න පුරුදු වුණේ කොහොමද?
“මම සින්දු කියන්න ගත්තේ මගේ අම්මා නිසා. දෙදහස් දාසයේ අවුරුද්දේ මගෙ අම්මා මැරුණා. අක්කා මට කිව්වා අම්මාට අමාරුයි කියලා. ඒත් මට ඒ වෙලාවේ යන්න බැරි වුණා ලංකාවට. අපේ අම්මා ජීවිතේ හුඟාක් දුක් වින්දා. තාත්තා බීලා ඇවිල්ලා ගෙදර රණ්ඩු කරලා අම්මට තඩිබානකොට අම්මා අපිවත් අරගෙන එක්කෝ කැලේට යනවා. එහෙමත් නැත්නම් ඉස්කෝලෙට යනවා. ගොඩක් දවස්වලට අපි රැය ගත කළේ ඉස්කෝලේ. අපේ අම්මා කවදාවත් සැපක් විඳපු කෙනෙක් නෙමෙයි. අම්මා නැති වුණා කියලා දැන ගත්තාම මගේ හිතට ලොකු වේදනාවක් ආවා. මට ඒ දුක උහුල ගන්න බැරි වුණා. මම කෑ ගහලා ඇඬුවා. මට දැනුණා අම්මා මා ළඟ ඉන්නවා වගේ. ඇය කිසිම වෙලාවක මම රට එනවට කැමැති වුණේ නැහැ. අම්මා මැරුණට පස්සේ මට නොයෙක් කරදර ඇති වුණා. කොහොම වුණත් අම්මා මැරුණට පස්සේ ඒ දුක තුනී කර ගන්න තමයි මම කෑ ගහලා සින්දු කියන්න ගත්තේ. මම ඒ සිංදු දැම්මේ ඇප් එකට විතරයි. නමුත් ඒ සින්දු ෆේස් බුක් එකේ හැම තැනම ෂෙයා වෙලා.”
ඔයාගේ සිංදු අහපු අය ඔයාට බනින්න ගත්තා නේද?
“ඔව්. හුඟක් අය මට බැණලා තිබුණා. හාමුදුරු කෙනකුත් මාව විවේචනය කරලා තිබුණා. මට බොහෝම කැත විදිහට නින්දා අපහාස කරලා තිබුණා. ඇත්තම කිව්වොත් මට මුල් දිනවල හරියට තරහා ගියා. මමත් ඒ අයට බැන්නා. නමුත් දැන් මම කාටවත් බණින්නේ නැහැ. හොඳ හෝ නරක හෝ මම සින්දු කියන්නෙ මගේ විනෝදයට. ඒක කාටවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් මාව අගය කරන පිරිසකුත් ඉන්නවා.”
කොහොමද කියන්නේ අගය කරන පිරිසක් ඉන්නවා කියලා.?
“දවසක් මාව හොයාගෙන ඉඳුනිල් අන්දරමාන මල්ලි සඳුන් පෙරේරා මල්ලිලා ආවා. ඔවුන් මාව හොයාගෙන තිබුණේ මම ආව ඒජන්සිය මාර්ගයෙන්. ඒ අය ආවේ මම වැඩ කරන ගෙදරට. අපි හුගක් වෙලා කතා කෙරුවා. ඔවුන් මට ආරාධනය කළා කුවෙට්වල පැවැත්වෙන සංගීත ප්‍රසංගයක සින්දු කියන්න එන්න කියලා. මම මගේ ගෙදර අයට කිව්වා. ඔවුනුත් එදා ඒ ප්‍රසංගය බලන්න ආවා. කොයි තරම් මිනිස්සු මට බැන්නත් එදා මම වේදිකාවට නගිද්දි හැමෝම මට ශක්තියක් වුණා. හුඟක් අය ඇවිල්ලා තිබුණේ මාව බලන්න. මම මගේ රසිකයන්ට හිස නමා ආචාර කරනවා මාව පිළිගැනීම වෙනුවෙන්. මම මැද පෙරදිග ආවේ මට අවුරදු තිස්පහක් විතර කාලේ. මම මේ රටේදි කිසිම වැරැදි වැඩක් කරලා නැහැ. සින්දු කියනවා ඇරෙන්න මම මගේ ජීවිත නාස්ති වෙන විදිහේ කිසිම දෙයක් කරලා නැහැ.”
කුමාරි අක්කා සින්දු කියනවට දරුවෝ කැමැතිද?
“පුතා නම් මුලින් කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් දැන් කවුරුවත් මුකුත් කියන්නේ නැහැ. මම මෙහෙ ඇවිල්ලා දහදුක් විඳලා හම්බ කළේ දරුවෝ වෙනුවෙන්. දැන් මගේ දරුවෝ විවාහ වෙලා ඉන්නේ. මගෙ සැමියා අසනීප වෙලා ඉන්නේ. මම දුක් විඳලා හදපු ගෙදරට මට යන්න බැහැ. අම්මාගේ මරණයෙන් පස්සේ ඒ ගෙදර ඉන්න අමාරුයි. යම් යම් බලවේග තියෙනවා. මොනවා හරි ඇදුරුකම් කරන්න තමයි මම මෙදාපාර ලංකාවට යන්නේ.”
කුමාරි අක්කට උදවු කළේ කවුරුද?
මිනිස්සු මට බැන්නා ඇරෙන්න කවුරුවත් උදව් කළේ නැහැ. නමුත් රහල්, සමන්,ඉඳුනිල්, නිශාන්ත මල්ලිලාව මම බොහෝම අගය කරනවා ඔවුන් තමයි මාව හොයාගෙන ඇවිල්ලා මාව දිරිමත් කළේ. ඒ අය මගේ සංගීතය පැත්තකට දාලා තමයි මාව බලන් ආවේ. මා එක්ක කතා කළේ. මම ඔවුන්ට හදවතින්ම ආදරෙයි. ඉදිරියේදිත් මට ඔවුන් සංගීත ප්‍රසංගවලට ආරාධනා කරාවි. මම බොහෝම කැමැත්තෙන් යන්නේ. මම එදා ප්රංසගයේදී මගේ රසිකයන්ගෙන් සමාව ඉල්ලුවා. මම ආයෙ කිසිම කෙනකුට බනින්න යන්නේ නැහැ. ”
ඔබ සේවය කරන්නේ නිවෙසක. කොහොමද සින්දු කියන්නේ?
“මට ඉස්කෝලේ යන කාලේ හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒත් අපිට තිබුණ ප්‍රශ්න එක්ක වැඩිදුර ඉගෙන ගන්න ලැබුණේ නැහැ. අපි බොහෝ වෙලාවට තුන් වේලෙන් එක වේලයි කෑවේ. අපේ පන්තියේ හිටිය ළමයින්ට වඩා මට සිංහල පොතේ තියෙන කවි ඒ දවස් වල හොඳට පාඩම්. දැනුත් මට සින්දු කට පාඩම්. ලංකාවෙන් දුරස්වෙලා, දරුවන්ගෙන් දුරස් වෙලා අම්මා නැතැව දුකෙන් ඉන්න මම ඒ දුක නැති කර ගන්නේ සින්දු කියලා. මේ මම ඉන්න ගෙදර අයගෙන් මට බාධාවක් නැහැ. මම ගෙදර වැඩ කරන ගමන් තමයි සිංදු කියන්නේ. සිංදු කියන එක මගේ වැඩ වලට බාධාවක් කර ගන්නේ නැහැ. මම ජීවිතේ දුක නිවා ගන්නේ සින්දු කියලා. ඒක කාටවත් කරදරයක් නැති දෙයක් නේ. ”
කුමාරි අක්කා එසේ කියන විට මට සිහිවන්නේ රංචාගොඩ ළමයාය. දුකට කවි කියු රංචාගොඩ ළමයාටද කිසිදු කාව්‍ය රීතියක් හෝ රිද්මයක් නොතිබිණි. එකල සිටි වියතුන් ඇගේ කවි ගැන විවේචනය කරන විට ඇය කීවේ “දුකට කියන කවි වලට මොන අස්සරදැයි” කියාය. කුමාරිගේ ගීත ගායනයද එසේය. ඇය ගී ගයන්නේ සිය සිතේ උපන් දුක තුනී කර ගැනීමටය. ඒ කෙසේ වෙතත් කුමාරි අක්කා දැන් අන්තර් ජාලය ඔස්සේ ලෝකය පුරාම ජනප්‍රිය චරිතයක් වී හමාරය.