ගම්පොළ, නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු පැය 5 ක පමණ කාලයක් මුළුමනින්ම අඩාල කරමින් ඊයේ (03) ජනතාව විරෝධතාවයක් දැක්වූවා.
ඒ, අබලන් වූ මාර්ගයක් පිළිසකර කර දෙන්නැයි ඉල්ලමින්.
මරියවත්ත සිට උඩගම දක්වා දිවෙන අබලන් මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලා වල්හාගොඩ, තැඹිලිගල, වරකාපිටිය, උඩගම ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව විරෝධතාවක් ආරම්භ කළේ, ඊයේ පෙරවරු 9.30 ට පමණයි.
ඒ, ගම්පොළ, නාවලපිටිය ප්‍රධාන මාර්ගය මරියවත්ත ප්‍රදේශයෙන් අවහිර කරමිනි.
ඔවුන් පැවසුවේ කිලෝමීටර් 7 ක් දුර මාර්ගය දස වසරකින් පමණ පිළිසකර කර නොමැති බවයි.
විරෝධතාවට සහභාගී වූ හිමිනමක් පසුව දුරකතනයෙන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇමතුවා.
එහිදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම හිමි නමට අසභ්‍ය ලෙස දුරකතනයෙන් බැන වැදුණා.
ඒ “නිකං පලයං යකෝ යන්න පර බල්ලා.” යනුවෙන් සඳහන් කරමින්.
මෙම සිදුවීම පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පස්වරුවේම නිවේදනයක් නිකුත් කළා.
ඉන් ඔහු කියා සිටින්නේ, තම ප්‍රකාශය නිසා යම් භික්ෂුන් වහන්සේ නමකට හෝ සංඝරත්නයට අපහාසයක් වූයේ නම් බෞද්ධයෙකු ලෙස ඒ පිළිබඳව දැඩි කණගාටුවට පත්වන බවයි.
තමා පාර්ලිමේන්තු කාර්යාලයේ ඉතා කාර්ය බහුලව සිටි අවස්ථාවක අදාළ දුරකතන ඇමතුම ලැබුණු බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
ඇමතුම දුන් නාදුනන උද්ඝෝෂණකරු රුපියල් ලක්ෂ 500 ක් ගසා කෑ බවට නැගු අභූත චෝදනා හමුවේ තමන් දැඩි ආවේගශිලීව පිළිතුරු ලබා දුන් බව ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
අමාත්‍යවරයා පවසන්නේ, තමා එම අවස්ථාවේ පිළිතුරු දුන්නේ භික්ෂුන් වහන්සේ නමකට නොව තර්ජනාත්මකව ඇමතූ උද්ඝෝෂණකරුවෙකුට බවයි.
එළෙස දුරකතන ඇමතුම ලබාදී ඇත්තේ භික්ෂුන් වහන්සේ නමක් බව තමා දැනගත්තේ අදාළ ප්‍රවෘත්තිය විකාශයවීමෙදී බව ද අමාත්‍යවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබේ.