බස්නාහිර ඉඩම් අක්කර 283ක් වගා කිරීම අරඹයි

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව බස්නාහිර පළාතේ හදුනාගත් ඉඩම් අක්කර 283 ක් වගා කිරීම අරඹයි.

ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදයට කඩිනම් විසදුමක් ලෙස එය ක්‍රියාත්මකයි.

නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් හදුනාගෙන එහි කඩිනමින් වගා කටයුතු ආරම්භ කරන ලෙස නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබිණි. ඒ අනුව මෙම වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

මෙම වගා ව්‍යාපෘතිය යටතේ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව සතු ඉඩම් අක්කර 188 ක වගා කිරීම කඩිනමින් ආරම්භ කෙරෙන අතර දැනටමත් ඉඩම් අක්කර 94 ක භූමි ප්‍රමාණයක වගා කිරීම ආරම්භ කර තිබේ.

වී සහ කෙටි කාලීන බෝග මෙම ඉඩම්වල වගා කිරීමට සැළසුම් කර තිබේ.

පැපිලියාන, පිල්ලෑව, නාවින්න, කටුවාවල, බෝකුන්දර, කැස්බෑව, පිළියන්දල ඇතුළු ප්‍රදේශවල ඉඩම් තෝරාගෙන කඩිනමින් වගා කටයුතු ආරම්භ කිරීමට ද සැලසුම් සකස් කෙරෙමින් පවතී.

මහ කොළඹ ගංවතුර පාලන ව්‍යාපෘතිය හා වේරස්ගග වැසිජලය අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ වගා කළ හැකි බිම් ප්‍රමාණයන් මෙම වගා ව්‍යාපෘතිය සදහා යොදා ගෙන තිබේ.

ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදයට විසදුම් ලෙස ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව ක්‍රියාත්මක කරන වැඩසටහන පිළිබදව ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදීපැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

මෙම ඉඩම්වල වගා කළ හැකි කෙටි කාලීන බෝග මොනවාද යන්න සහ අවශ්‍ය බීජ ප්‍රමාණය දැනුවත් කරන ලෙස මෙහිදී ඉල්ලා සිටි ඇමති ප්‍රසන්න රණතුංග මහතා, අවශ්‍ය බීජ කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බවට ද සහතික විය.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව කෙරවලපිටිය ප්‍රදේශයේ ඉඩමක මේවන විට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබේ. එළඹෙන වසර දෙක තුන තුළ පොහොර අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වන බව පෙන්වා දුන් ඇමතිවරයා, ඉදිරියේදී විදෙස් රටවලින් පොහොර ගෙන ඒමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බැවින් කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතිය තවදුරටත් පුළුල්ව සිදු කරන ලෙස ද නිළධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ සදහා අවශ්‍ය උපරිම සහයෝගය රජය පාර්ශවයෙන් ලබා දීමට ද මෙහිදී එකගත්වය පළ කෙරිණ.

You May also like

Leave a Reply

Your email address will not be published.