පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ප්‍රසිද්ධියේ හොරා කද්දී පොලිසිය බලා සිටී

ලංකා ඛනිජ වැලි සංස්ථාවට අයත් පුල්මුඬේ පිහිටි මෙම ඛනිජ වැලි නිධිය ආරක්ෂා කරගැනීමට නොහැකිව බරපතළ ප‍්‍රශ්නයක් පවතින බව ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනි ඉන්දිකා රණතුංග මහත්මිය පවසනවා.

ප‍්‍රදේශවාසීන් හා ප‍්‍රාදේශීය දේශපාලනාධිකාරිය එක්ව පුල්මුඬේ ඛනිජ වැලි නිධියෙන් වැලි සොරාගන්නා බවත්, එය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට පහරදී, පලවාහරිමින් රාජකාරි කටයුතුවලට බාධා කරන බවත් ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනිය හා සේවකයෝ චෝදනා කරනවා.

මෙරටට විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් ලබාදෙන රාජ්‍ය දේපළක් වන මෙම ඛනිජ වැලි නිධිය ආරක්ෂාකර ගැනීමට ප‍්‍රදේශවාසීන් හා ප‍්‍රාදේශීය දේශපාලනාධිකාරිය ඉඩ නොදෙන බවත්, ඔවුන් මෙම වැලි නිධියෙන් රහසිගතව වැලි ලබා ගන්නා බවත් සභාපතිවරිය සඳහන් කළා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ හා පොලිසියේ සහාය ඇතිව ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සේවකයන් විසින් පසුගියදා මෙම වැලි නිධිය වෙන්කර වැට ගැසීම සඳහා පසුගියදා ගිය අවස්ථාවේදී ප‍්‍රාදේශීය දේශපාලනාධිකාරිය හා ප‍්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනකු එක්ව එම කටයුතුවලට ඉඩ නොදුන් බවත්, එම ස්ථානයේ ඔවුන් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවත් ඇය පවසා සිටියා.

අතිවිශාල මුදල් ප‍්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට ලබාදෙන මෙම ඛනිජ වැලි සම්පත දේශපාලනාධිකාරියේ බූදලයක් බවට පත් නොකර රටේ පොදු සම්පතක් ලෙස ආරක්ෂා කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව ලංකා ඛනිජ වැලි සංස්ථා සේවකයෝ පවසනවා.

මෙම ප‍්‍රදේශයේ බහුතර ජනතාව මෙම සම්පත ආරක්ෂා කරගැනීමට ඉදිරිපත් වුවද, දේශපාලන අධිකාරිය ආගම්වාදය හා ජාතිවාදය ඉදිරියට දමා ඉතා සූක්ෂම ලෙස මෙම ඛනිජ සම්පත් රහසිගතව අලෙවි කිරීම සිදුකරන බවද ඔවුහු පෙන්වා දෙනවා.

මෙම ඛනිජ වැලි නිධිය ආරක්ෂා කර ගැනීම සඳහා වගකිවයුතු කිසිදු අංශයක් අවධානය යොමු නොකර, එක්තරා ඇමැතිවරුන් දෙදෙනෙකුට අවශ්‍ය පරිදි මෙම වැලි නිධිය පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීම රාජ්‍ය සේවකයන්ටම සිදුකරන විශාල අපකීර්තියක් බවද ඔවුහු සඳහන් කළා.

මේ අතර, මෙම ක‍්‍රියාවලදී පුල්මුඬේ පොලිසිය ඉතා පක්ෂග‍්‍රාහීව කටයුතු කළ බවට ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනි ඉන්දිකා රණතුංග මහත්මිය චෝදනා කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *