නිදහසට කරුණු දක්වමින් තෙල් සංස්ථාවෙන් මානව හිමිකම් කොමිසමට ලිපියක්

උසස් පෙළ සමයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මානව හිමිකම් කොමිසම කැඳවා තිබූ සාකච්ඡාවට සහභාගිවීමට නොහැකිවීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

පසුගිය 25 වනදා පැවති එම සාකච්ඡාවට සහභාගි වීමට නොහැකිවුණේ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට එදින සහභාගිවීම හේතුවෙන් බවයි ඔහු එමඟින් දක්වා ඇත්තේ.

කෙසේ වෙතත් තමන් නියෝජනය කරමින් සහභාගිවූ ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරීන් අදාළ සාකච්ඡාවේදී මතු කළ කරුණු සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොවූ බවද එමඟින් ඔහු දක්වා තිබෙනවා.

හුදෙක් මානව හිමිකම් කොමිසන් සභාවේ ඒකපාර්ශවීය මතය වෙත ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ගේ අනුමැතිය ලබාගත් බවට අදාළ නිලධාරීන් තමන්ට වාර්තා කළ බවයි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලිපියෙන් පෙන්වා දෙන්නේ.

එබැවින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත අසාධාරණයක් සිදුව ඇති අතර, මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශය යළි සළකා බැලීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ඔහු එමඟින් අවධාරණය කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයට අඛන්ඩව දැවිතෙල් සහ නැප්තා ආනයනික ඉන්ධනවලට වඩා අඩු පිරිවැයක් යටතේ නිකුත් කළ හැකි වුවද ඒ සඳහා මුදල් නොලැබීම සහ ණය පදනම මත දැනට පවතින තොග නිකුත් කිරීමෙන් ඉදිරියේ දී පිරිපහදුව යළිත් වතාවක් අකර්මණ්‍ය වීමෙ අවදානමක් මතුව ඇති බවයි ඔහු පවසන්නේ.

විදුලිය සැපයීම ජාතික අවශ්‍යතාවක් සේ සළකා රුපියල් බිලියන 111ක වටිනාකමින් යුත් ඉන්ධන ලංකා විදුලිබල මණ්ඩලයට අද වනවිට ලබා දී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අදාළ ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කොළඹ ඊයේ පැවති වැඩසටහනක දී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පෙන්වා දුන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය අගෝස්තු මාසයේ සිදු කළ ගාස්තු සංශෝධනයෙන් පසු ලාභ ලබන බව යි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *