දිවි ඇතිතෙක් රියදුරු බලපත්‍රය අහෝසි වන නීතියක්

බීමත්ව රිය පැදවීම සම්බන්ධ වැරදි දෙකක් සඳහා,මෝටර් වාහන පනතේ නව සංශෝධනයට අනුව රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරිමට හැකියාව පවතින බව පොලිසිය පවසයි.

ඒ අනුව මගී ප්‍රවාහන රියදුරෙකු බීමත්ව රිය පදවා වරදකරුවෙක් වුවහොත් හෝ බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකළහොත් මින් ඉදිරියට මෙලෙස ජීවිතාන්තය දක්වා රියදුරු බලපත්‍රය අවලංගු කිරිමේ හැකියාව පවතියි.

2019 අංක 10 දරණ මෝටර් වාහන සංශෝධන පනතේ 216 වන වගන්තිය සංශෝධනය වී ඇති අතර ඒ අනුව බීමත්ව රිය පදවා වරදකරුවෙක් වීමට අදාලව නිර්ණායක 3ක් යටතේ දඬුවම් ප්‍රකාශයට පත්කර තිබේ.

ඊට අනුව සාමාන්‍ය පෞද්ගලික වාහනයක රියදුරෙක් බීමත්ව රිය පදවා වරදකරු වුවහොත් රුපියල් 25,000කට නොඅඩු හා රුපියල් 30,000කට නොවැඩි දඩ මුදලකට හෝ මාස 3කට නොවැඩි කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කිරිම, නැතිනම් එම දඩුවම් දෙකටම යටත් කර තිබේ.

ඊට අමතරව අදාල පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය මාස 12 කට නොවැඩි කාලයක් සදහා අත්හිටුවිමටද හැකියාව පවතියි.

මගී ප්‍රවාහන රථයක රියදුරෙකු බීමත්ව රිය පදවා වරදකරුවෙක් වුවහොත් රුපියල් 25,000කට නොඅඩු හා රුපියල් 30,000කට නොවැඩි දඩ මුදලකට හෝ මාස 6කට නොවැඩි කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමක් හෝ එම දඩුවම් දෙකටම යටත් කර තිබේ.

එමෙන්ම අදාල පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය ජිවිතාන්තය දක්වා අවලංගු කිරිමට හැකියාව පැවතීමද විශේෂත්වයක්.

අවසාන වරද වශයෙන් මෙහි දක්වා ඇත්තේ බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදු කිරිමයි.

ඊට වරදකරුවෙක් වන්නෙකු රුපියල් 100,000කට නොඅඩු හා රුපියල් 150,000කට නොවැඩි දඩ මුදලකට හෝ අවුරුදු 2කට නොඅඩු හා අවුරුදු 10කට නොවැඩි කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කිරිම හෝ එම දඩුවම් දෙකටම යටත් කර තිබේ.

මෙහිදීද අදාල රියදුරුගේ රියදුරු බලපත්‍රය ජිවිතාන්තය දක්වා අවලංගු කිරිමට හැකියාව පවතියි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *