පාස්කු ප්‍රහාරයට පසු ‘පොලිස් පොතට එකතු කරන්න ගිය ලේඛණය’ ගැන හෙළිවේ

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් පෙර දැනුවත් කර නොතිබූ පසුබිමක ප්‍රහාරයෙන් දින දෙකකට පසු ඒ පිළිබඳව දැනුවත් ව සිටි බවට හැඟවෙන ලේඛනයක් පොලිස් පොත් තුළට අන්තර්ගත කිරීමට එවකට කොළඹ උතුර භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගෙන් බලපෑම් එල්ලවුණු බව උප පොලිස් පරීක්ෂක ආර්.එම්. ලහිරු ප්‍රදීප් උදයංග මහතා පවසනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

කොළඹ දිසාවේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.එච්.මහින්ද කරුණාරත්න,මෝදර පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.සී.ජනක කුමාර,කොටහේන පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක ඒ.එච්.එම්.සිරිසේන අබේසිංහ,වාරියපොල පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ලහිරු ප්‍රදීප් උදයංග,පරසන්ගස්වැව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් ඒ.එල්.නලින් බණ්ඩාර යන මහත්වරුන් අද කොමිසම හමුවට කැඳවා තිබුණා.

කොමිෂන් සභාවේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතා ප්‍රමුඛ පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පළමුව සාක්ෂි විමසීම ආරම්භ කෙරු‍ණේ පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවන සමයේ ජම්පටා පොලිස් මුරපොලේ සේවයේ නියුතුව සිටි වර්තමානයේ වාරියපොල පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ලහිරු ප්‍රදීප් උදයංග මහතාගෙන්.

මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සංජීව දිසානායක මහතා ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුම් දීමක් සිදුකර තිබුණේද යන්න
උපපොලිස් පරීක්ෂකවරයාගෙන් විමසා සිටියා.

එහිදී ඔහු සඳහන් කර තිබුණේ එවැනි පෙර දැනුම්දීමක් සිදුකර නොතිබූ බවයි.

ප්‍රහාරයෙන් දින දෙකකට පසු එවක කොළඹ උතුර භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා තමන්ට ඔහුගේ කාර්යාලයට පැමිණෙන්නැයි දැනුම්දුන් බවත් එහිදී යම් ලේඛනයක් ලබාදෙමින් එය ප්‍රහාරය සිදුවීමට පෙර ලැබුණු ලෙස ජම්පටා පොලිස් මුරපොළේ ලේඛන පොතට ඇතුළත් කරන ලෙස දැනුම් දුන් බවත් සාක්ෂි දෙමින් උපපොලිස් පරීක්ෂකවරයා කොමිසම හමුවේ පැවසුවා.

එමෙන්ම එවැනි ලේඛන ඇතුළත් කරන පොතක් ජම්පටා පොලිස් මුරපොල තුළ නොතිබූ බව තමන් පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාට දැනුම්දීමෙන් පසු එසේනම් එය තමන් සතුව තබාගන්නා ලෙසද දැනුම් දුන් බව ඔහු පවසා තිබෙනවා.

එම ලේඛනයේ සංවිධානාත්මක ප්‍රහාරයක් සම්බන්ධයෙන් කරුණු සඳහන්ව තිබූ බවද ඔහු කොමිසම හමුවේ පවසා සිටියා.

මේ සම්බන්ධයෙන් තමන් මීට පෙර ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂ පොලිස් ඒකකයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත ප්‍රකාශ නොකල බවත් ඒ සංජීව බණ්ඩාර නැමැත්තා සහ ඔහුගේ පුද්ගලික සහකාර උපේන්ද්‍ර නැමැත්තාගේ බලපෑම මත බවත් ඔහු පවසා තිබෙනවා.

ප්‍රහාරයෙන් අනතුරුව තමන්ට මෝදර පොලිස් ස්ථානයටත් පසුව වාරියපොළ පොලිස් ස්ථානයටත් දඬුවම් ලෙස ස්ථාන මාරුවීම ලබාදී ඇති බවත් ඊට හේතුව තමන් නොදන්නා බවත් ඔහු පැවසුවා.

You May also like

Sorry. No data so far.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *