එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සුරක්ෂිතව වළලා දමන ලද සහ සඟවන ලද ගිනි අවි, ජීව අත්බෝම්බ ඇතුළු අවි ආයුධ ගොඩගෙන රට පුරා සිටින පාතාල කල්ලි සාමාජිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ යයි කියන එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ සබඳතා පැවැත් වූ සැකකරුවන් හා පාතාල කල්ලි සාමාජිකයන් ඇතුළු 12 දෙනකු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර දුන්නා.
පොලිස් අධිකාරීවරයකු විසින් නිකුත් කළ රඳවා ගැනීමේ නියෝග අනුව රඳවාගෙන ප්‍රශ්න කරන එම සැකකරුවන් 12 දෙනා අධිකරණයේ නිරීක්ෂණය සඳහා ලබන අප්‍රේල් 26 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළා.
ලැබුණු රහසිගත තොරතුරක් අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත සිදුකළ විමර්ශනයේදී කිළිනොච්චි ප්‍රදේශයේ පදිංචි එක් සැකකරුවකුගේ නිවස ආසන්නයේ සුරක්ෂිතව වළ දමා තිබූ ජීව ක්ලේමෝ බෝම්බයක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත් ද්‍රවිඩ ජාතික සැකකරුවන් විසින් ඒ ආකාරයෙන් පාතාල කල්ලි සාමාජිකයන් හට මයික්‍රෝ වර්ගයේ පිස්තෝල පහක් හා තවත් ගිනි අවි රැසක් අලෙවි කොට ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පැවසුවා.
මේ වනවිට විදේශගතවී සිටින හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසකගේ උපදෙස් මත එක්තරා ද්‍රවිඩ ජාතික ක්‍රියාකාරී දේශපාලනඥයකු ඝාතනය කිරීම සඳහා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති ජීව ක්ලේමෝ බෝම්බය සහ ගිනි අවි භාවිත කරන්නට සැලසුමක් ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ද විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට දැනුම් දුන්නා.