වසර එකහමාරක් රහස් පොලිසියේ කල් මැරූ ‘මධුෂ්’ දැන් CCD වෙත බාර දීලා

වසර එකහමාරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ලක් වූ පාතාල නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නමැත්තා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

ඉකුත් වසර එකහමාර තුළ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වරින්වර අත්අඩංගුවට ගත් පාතාල නායක මධූෂ්ගේ ගෝලබාලයන්ගෙන් මත්ද්‍රව්‍ය ජාවාරම, ගිනි අවි ජාවාරම හා කප්පම් ගැනීම් සම්බන්ධයෙන් හෙළි වූ තොරතුරු පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මධූෂ් නමැත්තා රහස් පොලිස් නිලධාරීන් විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙනු ලැබ තිබෙනවා.

ඩුබායි සුපිරි හෝටලයක පැවැති උපන්දින සාදයකදී 2019 වසරේ පෙබරවාරි 5 වැනිදා එරට පොලිසියෙන් අත්අඩංගුවට ගත් මධූෂ් නමැත්තා එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව එම වසරේ මැයි මස 5 වැනිදා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී රහස් පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගතතා.

2016 වසරේ අග භාගයේදී ඩුබායි රටට පලාගොස් තිබූ පාතාල නායක මධූෂ් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව පුද්ගල ඝාතන හා කප්පම් ගැනීම් රැසකට චෝදනා ලැබුවෙක් බව පොලිසිය සඳහන් කළා.

ඒ අතර දකුණු පළාත් සභා මන්ත්‍රි ඩැනී හිත්තැටිය මහතා වෙඩි තබා ඝාතනය කිරීම, පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පිරිසකට වෙඩි තබා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු පිරිසකට බරපතළ තුවාල කිරීම, කළුතර එතනමඬල ප්‍රදේශයේ දී බන්ධනාගාර බසයට වෙඩි තබා පාතාල නායක සමයං ඇතුළු පිරිසක් ඝාතනය කිරීම, කොළඹ හා අවට ප්‍රදේශවල පුද්ගලයන් රැසක් වෙඩි තබා ඝාතනය කිරීම, එල්.ටී.ටී.ඊ. සංවිධානය සතු ගිනි අවි ජාවාරම, ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය කිරීම, කොස් මල්ලි නමැත්තා පැහැරගෙන ගොස් වෙඩිතබා ඝාතනය කර ඔහුගේ හිස අලුත් කඩේ උසාවිය අසලට ගෙනැවිත් දැමීම, මත්ද්‍රව්‍ය ජාවාරම, ඇරැව්වල ප්‍රදේශයේ නිවෙසකින් රුපියල් කෝටි 700ට අධික වටිනා නියම දෙයක් ඇතුළු මැණික් කොල්ලකෑම සහ කප්පම් ගැනීම මධූෂ්ට එරෙහිව ඇති චෝදනාවලින් කිහිපයක් බව වාර්තා වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *