වන සතුන්ගෙන් සිදුවන වගා හානි වැලැක්වීමට වැඩපිළිවෙළක්

මොනරා, වදුරා සහ රිලවා ඇතුළු සතුන්ගෙන් සිදු වන වගා හානිය වැලැක්වීමට කෙටිකාලයක් ඇතුළත ප්‍රායෝගික වැඩ පිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගිය (20) දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් කෘෂිකර්මික කටයුතු සඳහා වනසත්ත්වයින්ගෙන් සිදු වන හානි පිළිබඳ පෙන්වා දුන් අතර එහිදි අමාත්‍යවරයා මේ බව පැවසීය. විශේෂයෙන්ම මේ සඳහා අවශ්‍ය සියලු පාර්ශ්ව වල අදහස් ලබාගැනීමේ අවශ්‍යතාවයද හෙතෙම පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සියලු දෙනාගේම සහයෝගයද තමන් බලාපෙරොත්තු වන බව පැවසීය.

එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වගාකටයුතු වල යෙදෙන එළවළු ගොවීන්ට පොහොර සහ ඉන්ධන ලබාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

තවද සත්ව සුබසාධන පනත් කෙටුම්පත පිළිබඳව ද මෙම උපදේශක කාරක සභාවේදී සලකා බැලීම සිදු විය. මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් මෙම පනත් කෙටුම්පත පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය බව පැවසූ අතර ඒ අනුව තවත් දිනයක කාරක සභාව රැස් වී මෙම පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමට තීරණය විය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *