කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් අද (31) දින සිට ක්‍රියාත්මක වන පරිදි නව කෘෂි රක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ විශේෂත්වය වන්නේ, ඒ සඳහා ගොවිජනතාවට පමණක් නොව වෙනත් වෘත්තීන්හි නිරතවන අයට ද එක් වීමට අවස්ථාව සැලසීමයි.
මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම අද (31) දින පෙරවරුවේ කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙහිදී නව විශ්‍රාම වැටුප්ලාභීන් 59 දෙනෙකුට අමාත්‍යවරයා අතින් රක්ෂණලාභී සහතික පිරිනමනු ලැබීය. එම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා, පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. ඩී. වීරසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ ඕනෑම අයෙකුට තම ආදායමට අනුව විශ්‍රාම වැටුප තීරණය කළ හැකි අතර, විවිධ වයස් කාණ්ඩ යටතේ ඊට දායකත්වය ලබා ගත හැකිය.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් පළ කළේය,
“ මම 2018 කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී බෝග වර්ග 06ක් සඳහා අක්කරයකට රු.40,000ක රක්ෂණාවරණයක් ගොවීන්ට නොමිලයේ ලබා දුන්නා. මිරිස්, වී, බීලූණු, සෝයා බෝංචි සහ අර්තාපල් යන බෝග වර්ග 06ට වගා හානියක් සිදු වුවහොත් හෙක්ටයාරයකට රු. ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් ලබා දීමට කටයුතු කළා. අපේ ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් තිබෙනවා, මෙම මුදල වැඩි කරන ලෙසට. ඒ අනුව සුළු වාරිකයක් ලබා ගැනීම මඟින් අක්කරයකට රු.ලක්ෂ 05ක රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කරන ලෙස මම ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන්නා. ඒ අනුව හැකි ඉක්මනින් එම රක්ෂණ ක්‍රමය ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා.”
“මේ වනවිට මාස් කන්නය සඳහා වගා කටයුතු ආරම්භ වෙමින් තිබෙනවා. වී සහ බඩඉරිඟු වගාවන්ට අවශ්‍ය යූරියා පොහොර බෙදා හැරීම දැන් සිදුවෙනවා. යූරියා පොහොර තබා කිසිදු කෘෂි යෙදවුමක් නොලැබුණු රටක, මෙම මාස් කන්නයේදී යූරියා සහ MOP යන පොහොර වර්ග දෙකම අපි ගොවීන්ට ලබා දෙනවා. මඩ පොහොර නැහැ කියලා සමහරු දැන් කෑ ගහනවා. අප විසින් සිදු කළ පාංශු පරීක්ෂණවලදී නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක 02ක හැරෙන්නට අනෙක් සියලු දිස්ත්‍රික්කවල පසේ අඩංගු පොස්පරස් ප්‍රමාණය ඉහළ මට්ටමක තිබෙනවා. නමුත් අපි කෙසේ හෝ මඩ පොහොර ලබා දීමට උත්සාහ කළත්, මුදල් දී හෝ ඒවා මිල දී ගැනීමට හැකියාවක් නැහැ. නමුත් USAID ආධාර යටතේ මඩ පොහොර මෙ.ටො. 36,000ක් අපට ලබන ජනවාරි මාසයේදී ලැබෙනවා. ඒ අනුව ලබන යල කන්නයේදී අපේ රටේ ගොවීන්ට නොමිලයේ මඩ පොහොර ලබා දීමට අපට පුළුවන්.”
එනේම පසුගිය යල කන්නයේ අපි ගොවීන්ට ලබා දුන්නේ හෙක්ටයාර් 01කට යූරියා පොහොර කිලෝග්‍රෑම් 100ක්. නමුත් මෙවර අපි හෙක්ටයාරයකට යූරියා පොහොර කිලෝග්‍රෑම් 170ක් ලබා දෙනවා. ඒ නිසා පොහොර නොලැබෙන බවට සමහර දේශපාලන පක්ෂවල ගොවි නියෝජිතයින් යැයි කියා ගන්නා අය කරන ප්‍රකාශ ගණන් ගන්න එපා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රසිංහ මැතිතුමාත්, අමාත්‍ය මණ්ඩලයත් ගොවි ජනතාවට උපරිම සහන ලබා දීමට කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.