මාර්ග සංඥාවල “රෙඩ් ලයිට්” එක වැටුණා වගේ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා දැන්වීම නිකුත් කිරීමෙන් පසු වක්‍ර ආකාරයෙන් හෝ රජයේ මුදල් වියදම් කිරීම තහනම් කිරීමට නියෝග නිකුත් කරනවා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අනතුරු ඇඟවීමක් කරයි.
සභාපතිතුමා ඔබ කියන රතු එළිය දල්වන්නේ කාටද? රජයේ නිලධාරීන්ටද? එහෙමත් නැත්නම් දේශපාලනඥයන්ටද?
ඇයි? රජයේ නිලධාරීන්ට විතරක්. දේශපාලනඥයන්ටත් මේ අනතුරු ඇඟවීම කරනවා. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සම භූමියේ කෙරෙන සමතාවන් ඇති වන්න නම් රාජ්‍ය දේපළ බලයේ සිටින තැනැත්තන්ගේ දේශපාලන ප්‍රතිරූප පිම්බීමට යෙදවීමට වැළැක්වීමට අවශ්‍යයි.
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා දිනය ප්‍රකාශයට පත් කරන්නටත් කලින් ඔබ උත්සාහ කරන්නේ රතු එළියක් දල්වල රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් බියගන්වන්නද?
එහෙම බිය වැද්දීමක් කරන්න අවශ්‍ය නැහැ. අපි කරන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම. මේ රටේ මැතිවරණ කොමිෂන් සභාවක් ඇති කළාට පස්සේ පැවැත්වෙන ප්‍රථම ජනාධිපතිවරණය තව මාස කිහිපයක් තුළ පැවැත්වෙනවා. ජනතාව බලාපොරොත්තු වන අන්දමට නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ වගකීම සම්පූර්ණයෙන්ම පැවැරී තිබෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට. ඉතින් අපි ඒ වගකීම අකුරටම ඉදිකිරීමට බැඳී සිටිනවා. ඒ වගකීම ඉටු කිරීමේදී අපට නීති තදින් ක්‍රියාත්මක කිරීමට සිදුවනවා. හැබැයි නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා වඩාත් යහපත් දේ තමයි නීති ගැන දැනුවත් කරලා වැරැදි කරන එකෙන් වළක්වගන්න එක. මේ දේවල් කරන්නේ ඒකට තමයි.
මැතිවරණ නීති කලිනුත් තිබුණනේ. අපි දැකලා තියෙනවනේ ඔය කියන නීති ක්‍රියාත්මක වුණු ආකාරය.
ඇයි? එහෙම කියන්නේ. අපි නීති ක්‍රියාත්මක කළා. දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මැතිවරණ නීති තවත් හඳුන්වලා දීලා තියෙනවා. නීති තද නිසා තමයි දැන්ම ඉඳලාම අප “රතු එළිය” දල්වන්නේ. ඡන්ද නීති කැඩුවොත් කඩන අයට ලේසි වෙන්න නැහැ. නීතිය තදින්ම ක්‍රියාත්මක වෙනවා. වරදට දඬුවම් කරනවට වඩා හොඳම දේ වළක්ව ගන්න එක නිසා අපි හැමෝගෙන්ම ඉල්ලන්නේ දඬුවමට බියෙන් නොවේ කළ යුතු දේට වඩා නොකළ යුතු දේ තේරුම් ගෙන කටයුතු කිරීමයි.
සභාපතිතුමා, ඔබතුමා ඔය කියන නීති පොතට පමණක් සීමා වුණොත්?
එහෙම වෙන්නේ නැහැ. නීති කඩලා බලමුකෝ. මොකද වෙන්නේ කියලා.
අපි මේ රතු එළිය දල්වන්නේ ලංකාවේ තිබෙන ආණ්ඩු තුනටම. ඒ කියන්නේ ජනාධිපති, අගමැති ප්‍රධානත්වයෙන් තිබෙන කැබිනට් මණ්ඩලය සහිත ආණ්ඩුව ආණ්ඩු පක්‍ෂයේ අධීක්‍ෂණ මන්ත්‍රිවරු යටතේ ඇති දෙපාර්තමේන්තු ප්‍රධානීන්.
ජනාධිපතිතුමාගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියා කරන ආණ්ඩුකාරවරු සහ පළාත් සභා සහ ප්‍රමුඛ නිලධාරීන්, උෟව පළාතේ මහ ඇමැති ප්‍රමුඛ ඇමැති මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු දෙපාර්තමේන්තු ප්‍රධානීන්.
විපක්‍ෂයට වැඩි බලයක් තිබෙන පළාත් පාලන ආයතන හෙවත් පළාත් ආණ්ඩු. මේ තුන් ගොල්ලන්ටම රතු එළිය වලංගුයි. අපේ නීති සම්පූර්ණයෙන්ම බලාත්මක කරන්න පුළුවන් රතු ලයිට් එක පත්තු වුණාම විතරයි. කොළ එළිය තිබෙන විට වාහන ගමන් කිරීමේදී වුණත් මාර්ග නීති කඩන්න අවසර නෑනේ. ඒ වගේ තමයි කොළ එළිය තිබෙද්දි වුණත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. රජයේ දේපළ අපේක්‍ෂකයන්ට වියදම් කරන්න ලැබෙන්නේ නැහැ. අපි ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය යෙදෙන සැප්තැම්බර් 15 වැනිදා කොළ එළියත්, රතු එළියත් මැද්දේ කහ එළිය දල්වනවා. එතැන් පටන් මැතිවරණ නීති බලාත්ම කිරීම ආසන්න වෙනවා.
දේශපාලනඥයන් මැතිවරණ කාලවලදී ක්‍රියා කරන හැටි අපි කවුරුත් දන්නවනේ. ඒ ගොල්ල නීතිය අතට ගත්තොත් නිලධාරියා අසරණ වෙනවා නේද?
එහෙම වෙන්නේ කොහොමද? නිලධාරීන් දැනුවත් වෙන්න ඕන. නිලධාරීන් රජයේ කටයුතු පමණක් මිස ආණ්ඩුවේ කටයුතු කළ යුතු නැහැ. ඒක අවධාරණයෙන් කියනවා
මැතිවරණය පැවැත්වෙන කාලය තුළදී වුණත් විධිමත් ලෙස ඉල්ලුම් පත්‍ර කැඳවලා, විභාග පවත්වලා, අදාළ පටිපාටිවලට අනුව පත්වීම් ලබා දීම වැරැදි නැහැ. මැතිවරණ නැති කාලේ වුණත් වැරැදි ආකාරයට ඇප්ලිකේෂන් කඩදාසිවල පත්වීම් දෙන්න ගෙවල් දෙන්න, ඉඩම් දෙන්න කටයුතු කරනවා නම් ඒවා අනීතිකව කෙරෙන නොහොඹිනා වැඩ ලෙසටයි දකින්නේ.
දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වැඩි බලතල ලැබිලා තියෙනවා කියලා ඔබ සඳහන් කළා. මොනවද ඒ බලතල?
19 සංශෝධනයෙන් ලැබුණු බලතලද? ඒ සංශෝධනයෙන් ලැබුණු බලතලවලට අනුව කොමිෂන් සභාවේදී විධාන අනුගමනය නොකරන අයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අපි ක්‍රියාත්මක කරනවා.
අපි මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ ආරවුල් නිරාකරණය පිළිබඳ අංශයක් ස්ථාපිත කරනවා. නීතිවිරෝධී ක්‍රියාවලට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම අංශය මඟින් සිදුකෙරෙනවා. කොමිෂන් සභාවේ සාමාජික නලින් අබේසේකර මහතාගේ අධීක්‍ෂණය යටතේ එම අංශය ක්‍රියාත්මක වෙනවා.
සභාපති හැටියට මාත් මහාචාර්ය හූල් මහතා මීට සහාය වෙනවා.
ඔබ නීති තදින් ක්‍රියාත්මක කරනවා කිව්වා. ආරවුල් නිරාකරණය කිරීමේ අංශයක් පිහිටුවනවා කිව්වා. කොහොමද මේවා කරන්නේ?
ඔව්, සිද්ධීන් වැළැක්වීමට නාම යෝජනා දැන්වීම් දිනයේ සිට පොලිසියේ 500ක විශේෂ බළඇණියක් මැතිවරණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ගන්නවා. ඒ නිලධාරීන්ගේ සහාය ආරවුල් නිරාකරණය කිරීමේ අංශයටත් ලබා ගන්නවා.
ප්‍රචාරක පුවරු, කටවුට්, බැනර්, පෝස්ටර් ආදිය පාලනය කිරීම සඳහා ඔබ සැලකිලිමත්ද?
සැලකිලිමත් නොවී පුළුවන්ද? ඒවා පාලනයට අවශ්‍ය උපදෙස් දැනටමත් දීලා තියෙන්නේ. මහජන මුදල් විශාල වශයෙන් වැය කරලා දැන්වීම් ප්‍රචාරණය කිරීම මඟින් නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියකට ඇති කරනු ලබන බලපෑම් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළා.
මේ සම්බන්ධයෙන් පුරවැසි සංවිධාන, ජනමාධ්‍ය සංවිධාන වගේම දේශපාලනඥයනුත් මැතිවරණ කොමිෂන් සභාවට කරුණු දැක්වූවා. එම කරුණු බැහැර කරන්න බැරි කරුණු බව කොමිෂන් සභාවේ මතය වුණා.
මෙම කාලය තුළ මහජන මුදල් අධික ලෙස වැය කරලා විවිධ ව්‍යාපෘති, වෙනත් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ප්‍රචාරක දැන්වීම් මුද්‍රිතව හරි, විද්‍යුත් මාධ්‍ය මඟින් අඛණ්ඩව ප්‍රචාරණය කිරීමෙන් හරි ප්‍රදර්ශනය කිරීමෙන් දේශපාලනඥයන්ගේ ප්‍රතිරූප ඔසවා තැබීම සඳහා වන ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන්න එපා කියලා අපි අදාළ සියලුම අංශවලට දන්වලා තියෙනවා. මේ වගේ දේවල් රාජ්‍ය මුදල් අවභාවිතාවක් හැටියට සලකන්න පුළුවන් කියලත් අපි දන්වලයි තියෙන්නේ. අපි මේ හැම පියවරක්ම ගන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්න. අපි රතු එළියක් දල්වන්නේ ඇයි කියලා තේරෙනවා ඇති නේද?
ඒ විතරක් නෙමේ. ඉදිරියේදී පැවැත්වෙන ඡන්ද විමසීම්වලට අදාළව වෙනත් දේශපාලනමය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ප්‍රචාරක රැලි පැවැත්වීම, ප්‍රදර්ශන රථ සැකසීම, ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීම, ඒ වගේම ධජ පතාක යොදලා සැරසිලි කිරීම ආදියට රජයේ සේවකයන්, රජයේ වාහන රජය සතු වෙනත් උපකරණ, දේපළ යොදා ගැනීම් නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවත් අපි පෙන්වා දීලා තියෙනවා.
ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගන්නා දිනය මැතිවරණය පැවැත්වෙන දිනය ඔබ ප්‍රකාශයට පත් කරන්නේ කවදාද කියලා මුළු රටම බලාගෙන ඉන්නවා. මේක දැනගන්න අපි තව කොයිතරම් කාලයක් බලාගෙන ඉන්න ඕනද?
නොවැම්බර් 15 වැනිදා වනතුරු ඡන්දෙ තියන්න එකම දිනයක්වත් නැහැ. අපි නොවැම්බර් 15 වැනිදා ඡන්දය තියන්න බලාපොරොත්තු වෙනවා කියලා අදහස් වෙන්නේ නැහැ. ළඟම දිනය නොවැම්බර් 15 වැනිදා. ඈතම දිනය දෙසැම්බර් 7 වැනිදා.
සාමාන්‍ය පෙළ විභාගය වගේම රටේ නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක් නෙවෙන්න කටයුතු කරන්න කියලා අපිට ඉල්ලීම් ඉදිරිපත් වෙලා තියෙනවා.
සාමාන්‍ය පෙළ විභාගය කල් දමන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් වෙලා තියෙනවද?
ඒක හරියට කියන්න බැහැ. එතකොට ඔබට දිනය අහුවෙනවා. (සභාපතිවරයා සිනා සෙමින්,) එතකොට දිනය අහුවෙනවා.” යනුවෙන් දෙවරක්ම පැවැසීය.
කොමිෂන් සභාවේ එකඟතාවක් නැතිව හරියට දිනයක් කියන්න බැහැ.
හොඳයි ජනාධිපතිතුමා තමා ජනාධිපතිවරණයට ඉල්ලන්න බලාපොරොත්තු වන බව මේ මාසේ 10 වැනිදාට කලින් ප්‍රකාශ කළොත් මොකද වෙන්නේ.?
එහෙම වුණොත් අපට කාල වකවානු නියම කරගන්න පුළුවන්. ඒකත් අපට ඕන විදියට තමයි. අපි කැමැති “පෝල් නෝටිස්” එකේ ඉඳලා දින 49ත් 54ත් අතරේ යන්න. වැඩි කැමැත්ත ඒක වුණත් 45ත් 65 වෙන්න පුළුවන්.
එතකොට නාම යෝජනා දිනය කියන්නත් බැහැ. ඡන්දය විමසන දිනය කියන්නත් බැහැ?
නාම යෝජනා දිනය ප්‍රකාශ කරන ගමන්ම ඡන්දය විමසන දිනයත් ප්‍රකාශ කරනවා. සැප්තැම්බර් 15දාත් ඔක්තෝබර් 15දාත් අතර අනිවාර්යෙන්ම නාම යෝජනා සහ ඡන්දය විමසන දිනය ප්‍රකාශයට පත් කරනවා.
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මූලික කටයුතු දැන් සකස් කරගෙන යනවා. විභාගවලට වගේම නිෂ්පාදන කටයුතුවලට බාධාවක් ඇති නොවන ආකාරයට සෙනසුරාදා දිනයක ඡන්දය පවත්වන්න කියලා අපට ඉල්ලීම් ඉදිරිපත් වෙලා තියෙනවා.
නාම යෝජනා දිනය ළඟම එන බැවින් නීති බලාත්මක කිරීමට ලෑස්තියි කියලා සැප්තැම්බර් 15 වැනිදා නිවේදනයක් නිකුත් කරනවා.
මේ වසරේ ඡන්ද හිමි නාම ලේඛනය යටතේ ජනාධිපතිවරණය පැවැත්වීමට අපහසුකමක් තිබෙනවාද?
නාම යෝජනා කැඳවන දිනය වෙනකොට 2019 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය පවත්වන්න වෙන්නේ දැනට වලංගු 2018 අනුමත ඡන්ද හිමි නාමලේඛනය යටතේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට කීදෙනෙක් අභිලාෂය ප්‍රකාශ කර තිබෙනවාද?
මේ වන විට 14ක් අභිලාෂය ප්‍රකාශ කරලා තියෙනවා. ස්වාධීන අපේක්‍ෂකයන් හැටියට තරග කරන්න හිටපු මන්ත්‍රිවරු දෙදෙනකුත් වත්මන් මන්ත්‍රිවරයතුත් කරුණු විමසලා තියෙනවා. බොහෝ වේලාවට මේ ඡන්ද විමසීමේදී අපේක්‍ෂක සංඛ්‍යාව ඉහළ යන්න පුළුවන්. සමහරවිට අපේක්‍ෂක සංඛ්‍යාව 20 ඉක්මවන්නත් ඉඩ තිබෙනවා.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකම් තිබෙන්නේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රිවරුන්ට, මන්ත්‍රි ධුරය දරන අයට, පිළිගත් දේශපාලන පක්‍ෂවලට පමණක් වීම ගැන තරුණයන් අතර දැඩි විවේචනයක් තියෙනවා නේද?
ඔව්, ඒක ඇත්ත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ 1981 අංක 5 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ විධිවිධාන අනුව ඒක අපට වෙනස් කරන්න බැහැ. කොමිෂන් සභාවට වෙනස් කරන්න බැහැ.
මේක ලිහිල් කරනවා නම් තෝරා ගැනීමේ වටයක් තිබීම වැදගත් වෙනවා කියන එකයි මගේ පෞද්ගලික මතය. එහෙම නැත්නම් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 0.25ක්, 400න් 1ක් වත් පිළිගත් විධිමත් දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කරලා යම් අපේක්‍ෂකයකුට අවස්ථාවක් දෙන්න ඕන කියලා කිව්වොත් එවැනි අයට අවස්ථාවක් දෙන එක සුදුසුයි කියලා මම හිතනවා. මේ සංඛ්‍යාව 500ට එකක් දක්වා වැඩි කරන්න හරි 200ට එකක් 100ට එකක් දක්වා අඩු කරන්න සාකච්ඡා කරලා තීරණයක් ගන්න පුළුවන්. මේක මගේ පෞද්ගලික මතය. හැබැයි මේ සේරම කරන්න ඕන පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවෙන් පනත් වෙනස් කරන්නේ නැතිව මේවා කිසිදෙයක් කරන්න බැහැ කියන එක තමයි කොමිෂන් සභාව හැටියට කියන්න පුළුවන්
පළාත් සභා ඡන්දය ලබාගන්න මැතිවරණ කොමිෂන් සභාව උසාවි ගියේ නැහැ කියලා ඔබට චෝදනා එල්ල වුණා. පළාත් සභා ඡන්දය පැවැත්වූවේ නැත්නම්, ඔබ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙනව කියල බොරුවට රටට ඇහෙන්න කෑගහනවා කරන්න තියෙන දේ කරන්නේ නැතිව කියල රටේ මතයක් ප්‍රකාශ වුණා. දැන් මොකද වෙලා තියෙන්නෙ? ඔබ ඉල්ලා අස්වුණෙත් නෑ. පළාත් සභා ඡන්දෙ තිබ්බෙත් නෑ. හරියට ගහපු පදේකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ වගේ නේද?
පළාත් ඡන්දෙ ලබාගන්න අපි උසාවි ගියේ නැහැ කියල කියන්නෙ විපක්ෂයේ අය තමයි ආණ්ඩුවට පක්ෂපාතීව ඡන්දෙ කල් දාන්න උත්සාහ කරනව කියල අපට චෝදනා කළේ. අපි කිව්වේ මේක පාර්ලිමේන්තුව තමයි කරන්න ඕන. පාර්ලිමේන්තුවෙන් කරන්න තිබුණු දේවල් සිදුනොවන නිසා තමයි පළාත් සභා ඡන්දය දවසෙන් දවස ප්‍රමාද වුණේ. මම හඬක් නැඟුවෙ ජනතාවගේ ඡන්ද අයිතිය ලබාදෙන්න.
දැන් අන්තිමට මොකද වුණේ? ශේර්ෂ්ඨාධිකරණය පැහැදිලි නඩු තීන්දුවක් දුන්නා. ඒ තීන්දුවට අනුව පළාත් සභා ඡන්දය පවත්වන්න ඕන පාර්ලිමේන්තු පනතක් හරහා බව තමයි පේන්නෙ.
මේ වගේම පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වූවේ නැත්තෙ අපේ වරදකින් කියල ඒ ඡන්ද විමසීම ප්‍රමාදය ගැන තිබුණු නඩුවේදී අධිකරණය කියල නැහැ. රජය තමයි වරද කරන්නෙ කියලයි කිව්වෙ. මේ වගේ හැමදාම ඉතිහාසය තමයි අපි නිදහස් කරන්නෙ. ඉතිහාසය අපි නිවැරදිකාරයෝ බව කියාවි කියන එක තමයි ඔබේ ප්‍රශ්නයට පිළිතුර. වෙන කියන්න දෙයක් නැහැ.
ඇල්පිටිය ඡන්දෙ තියන්නෙ විපක්ෂයට වාසි වෙන්න කියල කතාවක් පැතිර යනවා. ඒකටත් ඇඟිලි දික්වෙන්නෙ ඔබට. ඒ ගැන මොකද කියන්නෙ?
එහෙම කතාවක් යනවා. මේ ඡන්දෙ අපි විපක්ෂයට වාසි වෙන්න තියන එකක් නෙවේ. ශේර්ෂ්ඨාධිකරණයෙන් දුන්න නඩු තීන්දුවක් නිසා තමයි තේරීම් භාර නිලධාරියා ඇල්පිටිය ඡන්දෙ තියන්නෙ. නැතිව කාටවත් වාසි සලසන්න නෙවි.
ඔබතුමා ආණ්ඩුවට පක්ෂග්‍රාහීව කටයුතු කරනව කියන්නෙ ඇත්තද?
වෙන අහන්න ප්‍රශ්න නැතිවමද එහෙම අහන්නෙ? මම ආණ්ඩුවට පක්ෂග්‍රාහී කියල කියන්නෙ මොන පදනමෙන්ද? ආණ්ඩුවට පක්ෂපාතීව මම වැඩ කරනවා කියන්නෙ කියන්න දේවල් නැතිකමට ඕව කියනවා.
මම ඡන්ද නීති අකුරට ක්‍රියාත්මක කරන්නෙ එක පැත්තකට වාසි වෙන්න නෙවි. මහජන මුදල්, රාජ්‍ය දේපළ අවභාවිත කිරීම නැවැත්වීමට මම නීතිය ක්‍රියාත්මක කරනවා. මම කාටවත් පක්ෂපාතීව වැඩ කරන්නෙ නැහැ. මම ජනතාවට ඡන්දය පාවිච්චි කරන ඡන්ද දායකයන්ට පක්ෂපාතීව, ඒ අයගෙ ඡන්ද අයිතිය රැකදෙන්න තමයි හැම තිස්සෙම කටයුතු කරන්නෙත් කටයුතු කරල තියෙන්නෙත්. මට ඒකටත් කියන්න තියෙන්නෙ මම අර කලින් කියපු දේම තමයි. ඉතිහාසය තමයි අපිව ආරක්ෂා කරන්නෙ කියල. වෙන මොනවද කියන්න තියෙන්නෙ. මම නැවත නැවතත් කියන්නෙ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදීලා තියෙන බලතල අකුරටම ක්‍රියාත්මක කරනව කියන එක. අපි මේ 15 වැනිදා දල්වන රතු එළිය නොසලකා රාජකාරි කරන අයට වෙන්නෙ මොකක්ද කියලා බලාගෙන ඉන්නකෝ.
මම මේකත් කියන්න ඕන. 2014 ඉවර වෙනකම් එවකට විපක්ෂය කිව්වෙ මැ.කො. ආණ්ඩුවෙ මිනිහෙක් කියලා ජනාධිපතිවරණයෙන් පස්සෙ.
2015 හිටපු ජනාධිපතිතුමා පරාජය වීමට අපේ බලපෑමක් තිබුණ කියල අපට බරපතළ චෝදනා එල්ල වුණානේ. නිලධාරීන්ට පුළුවන්ද එවැනි වංචාවක් කරල ප්‍රතිඵල වෙනස් කරන්න?
අපි එහෙම කළෙත් නැහැ. කරන්නෙත් නැහැ. දැන් බලන්න, ඔබට මතක ඇතිනේ. අපේ හිටපු දයානන්ද දිසානායක මැතිතුමාට ඒ දවස්වල චෝදනා කළා කම්පියුටර් ජිල්මාට් දැම්ම කියල. ඕවා ඔහොම තමයි. එක එක්කෙනා කියන කතානේ. අපි හරියට පොල්ගහට නඟින කෙනා ගහට වැඳලා නඟිනවා වගේ. අපි අපේ රාජකාරිය, අවංකව අපක්ෂපාතීව සිදුකරනවා. මැතිවරණ ඉතිහාසයේම අපි නිදහස් හා සාධාරණ මැතිවරණ පවත්වල තියෙනවා. මට නැවතත් ඔබට මතක් කරන්න වෙන්නෙ ඉතිහාසය තමයි අපිව ආරක්ෂා කරන්නෙ කියලා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලය, ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් ඇතිකරනවා කියල ප්‍රකාශ වෙනවා. ඒ ගැන ඔබ මොකද කියන්නෙ?
එහෙම කියන්න බැහැ. දැන් බලන්න 1988 ජනාධිපතිවරණය 1988 දෙසැම්බර් 19 පැවැත්වුණේ. ඊට කලින් සැප්තැම්බර් 19 නැඟෙනහිර පළාත් සභාවේ ඡන්ද විමසීම සිදුවුණා. ඒ ප්‍රතිඵලය ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් වෙනව කියලා ඒ ඡන්ද විමසීම් නැවැත්තුවේ නැහැනෙ.
ඒ විතරක් නෙවි, 1988 ජනාධිපතිවරණයට සති තුනකට කලින් 1988 සැප්තැම්බර් 29 වැනිදා හොරොව්පොතාන අතුරු මැතිවරණයක් පැවැත්වූවා. ඒ ඡන්ද ප්‍රතිඵලය ජනාධිපතිවරණයට බලපානව කියලා ඒක තියන්නෙ නැතිව හිටියෙ නැහැ. ඒ අනුව බලනකොට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ප්‍රතිඵලය ඉදිරි ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කරාවි කියලා ඒක නොතියා ඉන්න බැහැ.
ඔබ රට පුරාම සම්මන්ත්‍රණ තියලා, ඡන්ද නාමලේඛනයට ඡන්ද දායකයන්ගේ නම් ඇතුළත් කරවීමට ලොකු උනන්දුවක් දැක්වූවා. කැපවීමක් කළා. විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. ප්‍රතිඵලයක් දකින්න තියෙනවාද?
ඔව්. පාසල් ශිෂ්‍යාවන් තුළ, තරුණයන් තුළ ලොකු උනන්දුවක් තියෙනවා. ඒක පේනවා. අපි ලබන 21 වැනිදා පවත්වන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ‘පවුර’ චිත්‍රපට උළෙල පාසල් දරුවෝ ඉදිරිපත් කරපු චිත්‍රවලින්. හැබැයි මේ පවත්වන දේශපාලන සංස්කෘතිය කෙරෙහි පාසල් දරුවන්ගේත් තරුණයන්ගේත් යම් විරෝධයක් තියෙන බව ඒ වැඩසටහනේදී අපට පෙනී ගොස් තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ බෙදීමක් තියෙනවා නේද?
කොමිෂන් සභාවේ සාමාජිකයෙක් විවිධ ප්‍රකාශ කර තිබෙනවා. ඒකයි එහෙම අහන්නේ.
ඔය කියන්නෙ මහාචාර්ය හූල් කරපු ප්‍රකාශය ගැනනේ. නැහැ, නැහැ එහෙම කිසිම බෙදීමක් නැහැ. අපි අතර මතගැටුම් ඇති වෙනවා. නමුත් ඔය කියන බෙදීමක් නම් නැහැ. එයා දකින විධියයි, අපි දකින විධියයි වෙනස්. එයාගේ මතය ප්‍රකාශ කරන්න එයාට අයිතියක් තියෙනවා. මහාචාර්ය හූල් මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක්. අපි තුන්දෙනාම ප්‍රජාතන්ත්‍රවාදීයි. විවිධ මත තිබුණත් කොමිෂන් සභාව එක්වෙලා වැඩ කරන්නෙ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය හා සර්වජන ඡන්ද බලය ආරක්‍ෂා කිරීම ගැන.
කොමිෂන් සභාව එකම මතයක තුන් දෙනාම ඉන්නව නම් තුන් දෙනෙක් පත්කරන්න ඕන නැහැනේ. ඉස්සර වගේ තනි කොමසාරිස්වරයෙක් හිටියම ඇති. අපි තුන්දෙනාම වෙනම විෂය ක්‍ෂේත්‍රවල වැඩ කරලා තිබුණට, මෙතැනදී අපි තුන්දෙනාගෙම පැතුම එකයි.
අපි තුන්දෙනාගෙන් කවුරුවත් දේශපාලන මතිමතාන්තර අනුව දේශපාලන පක්‍ෂපාතීත්වයෙන් හෝ විරෝධයකින් හෝ කටයුතු කරන්නෙ නැහැ.
ඔබ ශ්‍රී ලංකාවේ අවසාන මැතිවරණ කොමසාරිස්වරයා. මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රථම සභාපතිවරයා. සමානුපාත ඡන්ද ක්‍රමය මේ රටට හඳුන්වා දෙන වෙලාවෙත් ඔබ මැතිවරණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කළා. ඔබේ අත්දැකීම් අනුව සමානුපාතික ඡන්ද ක්‍රමය මේ රටට ගැළපෙනවාද?
මේ රටට ගැළපෙන්නෙ මිශ්‍ර සමානුපාත ඡන්ද ක්‍රමය. පළාත් පාලන ඡන්දය අපි පැවැත්වූවේ කොට්ඨාස සහ සමානුපාත ක්‍රමයට.
සභිකයෝ එල්ලන ආසන ඇතිවෙන එක නැති වෙන්න ඕන. ඒක ගණිත සූත්‍රවලින් කරන්න පුළුවන්. අවම ඡන්ද ප්‍රතිශතය සියයට 2.5කට තියෙන්න ඕන. එය සියයට 12.5ක පැවතීම ප්‍රායෝගික නෑ. හේතුව කොළඹ දිස්ත්‍රික්කය ගත්තම මන්ත්‍රිවරු 20ක් තේරී පත්වන නිසා. එක මන්ත්‍රිවරයකුට ඕන වෙන්නෙ සියයට 5ක් විතරයි. අවම සීමාව 12.5% කළහොත් සියයට 20, 50 ගන්න පක්‍ෂවලට ඡන්ද විස්සෙන් එකට මන්ත්‍රිවරු පත්වේවි. සියයට 10ක්, 11ක් ගන්න පක්‍ෂවල ඡන්ද පැත්තකට යාවි. ඒක නිසා අවම සීමාව සියයට 2.5ට වඩා වැඩි කරන එක නම් සුදුසු නැහැ.
වෙනත් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල තිබෙන යෝජනාවක් තමයි පක්‍ෂයට 1ක් හා අපේක්‍ෂකයාට 1ක් ලෙස ඡන්ද පත්‍රිකා වර්ග දෙකක් දීම. ඒකත් මිශ්‍ර සමානුපාත ක්‍රමයත් එක්ක තියෙනවා නම් බොහොම ප්‍රශස්ත ක්‍රමයක් වේවි.
ජනාධිපතිවරණය පැවැත්වීමට ඔබ තෝරා ගන්නේ ළඟම දිනයද? නැත්නම් අවසාන දිනයද? රටේ ජනතාව ඒ දිනය දැනගන්න ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා?
තියෙන ප්‍රායෝගික ගැටලු මඟහරවාගෙන දිය හැකි ළඟම දිනය දෙන්න හැකිවේවි කියලා හිතනවා.
ජේ.ටී. ද සිල්වා