වරාය නගරයට මාරපන–පීබී ඇවිළෙති. චීනයට ඩොලර් යවන්න ඉඩ දෙනු බැහැ – මාරපන

කොළඹ වරාය නගරය පිළිබඳ ජනාධිපති කොමිසමේ කටයුතුවලට ජනාධිපති ලේකම්වරයාට මැදිහත් වීමට බලයක් නැතැයි එම කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාට දැනුම්දී ඇත.

කොමිසම පත්කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බැවින් තමා වගකියනුයේ ජනාධිපතිවරයාට බව ගාමිණී මාරපන මහතා සඳහන් කර තිබේ.

කොළඹ වරාය නගරයේ ඉඩම් ව්‍යාපාරිකයන්ට බදු දීමෙන් ලැබෙන ශ‍්‍රී ලංකා රුපියල් ඩොලර්වලට මාරුකර ලබාදෙන ලෙස කොළඹ වරාය නගරය ඉදිකරන චීන සමාගම කළ ඉල්ලීම ගාමිණී මාරපන මහතා ප‍්‍රතික්ෂේප කිරීම නිසා වරාය නගරයේ ඉදිකිරීම් කටයුතුවල ප‍්‍රගතිය සම්බන්ධව සාකච්ඡා කිරීමට සතියකට වරක් රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති ලේකම්වරයා කොමිසමෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් ගාමිණී මාරපන මහතා දැනුම්දී ඇත්තේ ජනාධිපති ලේකම්වරයාට කොමිසමේ කටයුතුවලට මැදිහත්විය නොහැකි බවයි.

ශ‍්‍රී ලංකාව තුළ ඩොලර් අර්බුදයක් පවතින මොහොතේ චීන සමාගමේ ඉල්ලීම ඉටුකළ නොහැකි බවත් සමාගම උත්සාහ ගන්නේ ඇමෙරිකානු ඩොලර් චීනයට යැවීමට බවත් ඒ මහතා සඳහන් කරයි.

මෙලෙස ජනාධිපති ලේකම්වරයා කොමිසමේ කටයුතුවලට මැදිහත් වුවහොත් එහි විශ්වාසය බිඳෙන බවත් වරාය නගරය ඉදිකරන චීන සමාගමට ඒ සඳහා වැයවන මුදලට අදාළව ඉඩම් ලබාදී ඇති බැවින් ඔවුනට සෙසු ඉඩම් සම්බන්ධයෙන් බලපෑම් කළ නොහැකි බවත් ගාමිණී මාරපන මහතා සඳහන් කරයි.

එවැනි තත්ත්වයක් මත අදාළ චීන සමාගමේ අවශ්‍යතාවට ජනාධිපති ලේකම්වරයා කොමිසමේ කටයුතුවලට මැදිහත්වීම ප‍්‍රතික්ෂේප කරන බවද ගාමිණී මාරපන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර කොළඹ වරාය නගරයේ ලේඛකාධිකාරී කටයුතු කරන සමාගම සහ කොමිසමේ නීති උපදේශක නිහාල් ජයවර්ධන මහතා ද මේ වන විට සිය වගකීම්වලින් ඉවත්වී ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *