නායකත්වයට සිව්කොන් සටනක් – හතුරුසිංහ නැත්නම් මැතිවුස් කැමතිලු

එළැඹෙන ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය නම් කරනු ලබන්නේ ලබන 4 වැනිදා ආරම්භ වන පළාත් ක්‍රිකට් තරගාවලියෙන් පසුව බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා පවසනවා.

ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න යන අයගෙන් එක් අයකු ලෝක කුසලාන නායකයා වශයෙන් නම් කිරීමට වැඩි අවස්ථාවක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට හේතුව වී ඇත්තේ එම ක්‍රීඩකයන් තිදෙනාටම කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට හැකියාව ඇති බැවිනි.

”අපි කාටද ලෝක කුසලාන නායකත්වය ලබාදෙන්නෙ කියලා තවම තීරණය කරලා නැහැ. මොකද ලෝක කුසලානයේදී කණ්ඩායමේ නායකයා කරන කෙනාට 11 දෙනා අතර ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙන්නෙ ඕන. ඒ වගේම කණ්ඩායමේ බහුතරයගේ විශ්වාසය තිබිය යුතුයි. මේ හැම එකක්ම බලන්න ඕන. අපි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ව ගෙනල්ලා කතා කරනවා. ඒ වගේම නවකයන්වත් ගෙනල්ලා කතා කරනවා. ඒ අනුව හැම කෙනාගෙම වැඩි විශ්වාසය ඇති කෙනාට නායකත්වය ලබාදෙනවා. කණ්ඩායම එකමිටකට ගන්න බැරි නායකයකු වැඩක් නැහැ. පළාත් තරගාවලියේදී කණ්ඩායම් හතරේ නායකත්වය දරන හතර දෙනාගෙන් එක්කෙනෙක් ලෝක කුසලාන නායකයා වේවි.” යැයි තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා පවසනවා.

”විස්සයි විස්ස තරගයේදී මාලිංග නායකත්වය කරපු ආකාරය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු නායකයා විශේෂ සඳහනක් කළා. ඇත්තටම මාලිංගත් ලෝක කුසලාන නායකයන් තෝරන ගොඩේ ඉන්නවා. නමුත් අපි හැම කෙනාගෙම කැමැත්ත අනුව තමයි තීරණය ගන්නෙ. මොකද කණ්ඩායමේ සාමුහිකත්වය ඉතාමත් වැදගත්. නවකයන් ගොඩ දෙනෙක් ඉන්නවා දක්ෂතා දක්වන්න පුළුවන් අය. ඒ නිසා ලෝක කුසලානයට අපි තවම කණ්ඩායම තේරුවෙ නැතත් අපි තෝරන කණ්ඩායමට ලෝක කුසලානයේදී ලොකු වෙනසක් කරන්න පුළුවන් වේවි.” යැයි අසන්ත ද මැල් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඇන්ජලෝ මැතිව්ස් ද යළිත් කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට කැමැත්තෙන් පසුවන බව වාර්තා වනවා.

ඊට හේතුව වී ඇත්තේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ චන්දික හතුරුසිංහට සිය රාජකාරිය අහිමි වීමයි.

හතුරුසිංහ නිසා නායකත්වයේ ඔටුන්න එපා වී සිටි මැතිව්ස්ද අදාළ තනතුරට කැමැත්ත පළ කළ හෙයින් ඔහුට පළාත් තරගාවලියේදී දඹුල්ල කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබෙනවා.

ටෙස්ට් තරගාවලිය හොඳින් කරමින් කණ්ඩායම එක මිටකට ගෙනා දිමුත් කරුණාරත්නට ද පළමු වරට ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව මේ වනවිට නිර්මාණය වී ඇති අතර දිමුත් කණ්ඩාමේ නායකයා නොවුණහොත් ඔහුට බොහෝ දුරට උපනායකත්වය හෝ හිමිවීමේ අවස්ථාව තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *