එකපාරටම පස්වලට යටවෙච්චි වෙලාවේ එතැන හිටිය කට්ටිය කතා කරන හඩ යාන්තමට ඇසුණා. අපට කොහොමත් බයක් දැනුණේ නෑ. අපිට හුස්ම ගන්න බැරි තරමට පස්වලින් වැහිලයි හිටියේ. කෑගහන්න හැදුවත් කටෙත් එක්කම පස් තිබුණා. ඒ නිසා එහෙම කරන්නටත් ඉඩක් නැතුව ගියා. අත්දෙක පස්වලින් උඩට පෙනුණු නිසා එතැනට ආව අය ඉක්මනටම ඇගේ බෙල්ලෙන් උඩ කොටස මතුකර ගෙන සුවසැරිය ගිලන්රථ සේවාවේ නිලධාරීන් ඔක්සිජන් දුන්නා මතකයි.
මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා බිම් සකස් කරමින් සිටියදී හදිසියේම කඩාවැටුණු පස්කන්දකට යටවී ජීවිතයත් මරණයත් අතර බිහිසුණු සටනක යෙදී යළි ජීවත්වීමේ වරම උදාකර ගත් එම සිද්ධියට මුහුණ පෑ රක්වානේ පදිංචිකරුවකු බව කියන සත්‍යනාදන් නමැති 43 හැවිරිදි තිදරු පියා අප සමග එසේ පැවසීය.
සෙල්වරාජ් මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් හිටියේ. එයා 30 වැනිදා හවස ටිකට් කපල රෝහලෙන් පිටවෙලා ගිහින් කියලා මට ආරංචි වුණා. මම කෑගල්ලට එව්වේ ස්කෑනින් එකක් කරන්න කියලා. අපි දෙන්නම රත්නපුරේ රක්වානේ පදිංචි වෙලා ඉන්නේ. දෙන්නම විවාහ වෙලා. අපිට ළමයි ඉන්නවා.
මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා බිම සකසමින් සිටියදී 29 වැනිදා රාත්‍රී 9ට පමණ පස් කන්දකට යටවී පණ පිටින් වැලලෙන්නට ගිය කම්කරුවන් දෙදෙනකුගේ දිවි බේරා ගැනීමට සුවසැරිය ගිලන් රථ සේවාවේ නිලධාරීන් පිරිසකට සහ මාවනැල්ල පොලිසියට හැකිවූ බව සඳහන්ය.
සත්‍යනාදන් (43) යන අය වැඩිදුර ප්‍රතිකර සඳහා කෑගල්ල මහරෝහලට අතුළත් කර සිටියදී තමන් මුහුණ පෑ එම බිහිසුණු අවස්ථාව සිහිපත් කරමින් මෙසේ ද පැවසීය.
අපි කොළඹ පැත්තේ මේ වාගේ වැඩබිම්වල කම්කරුවන් විදියට දිගුකලක් තිස්සේ වැඩ කරනවා. මාවනැල්ලට ඇවිල්ලා වැඩකළේ එක දවසයි. එදාම තමයි මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණපාන්නට සිදු වුණේ. මේ සිද්ධියෙන් අපි එලොව ගිහින් මෙලොව අවායි කියලයි හිතෙන්නේ.
මේ වැඩබිමේ කපාපු අත්තිවාරමේ වළක ගල් බැම්මක් අල්ලමින් සිටියා. ඒ වෙලාවේ හිටි හැටියේම ඉවුර කඩා වැටිලා මමයි මාත් එක්ක හිටිය අනිත් කෙනයි මුළුමැණින්ම පස්වලට වැහිලා ගියා. ඒ වෙද්දි මම අත්දෙක ඔසවාගෙන සිටියා. ඒ වෙලාවේ මට හිතුණා අපේ ජීවිතය එතනින්ම කෙලවර වෙයි කියලා. නමුත් අපේ පෙර පිනකට දෝ අහල පහල හිටපු උදවිය ඇවිත් පස් අයින් කරලා අපේ හිස කොටස මතුකර ගත්තා. ඒ සමගම මාවනැල්ල පොලිසියේ මහත්වරු පිරිසක් හා සුවසැරිය ගිලන්රථ සේවයේ නිලධාරීන් ඇවිත් අපට ඔක්සිජන් දුන්නා. ඊට පස්සේ එතැනට ආව අය පස් අයින් කරලා අපි දෙන්නා බේරගන්න කටයුතු කරද්දී බැකෝ එකකුත් ගෙනැල්ලා එයත් ඒ සඳහා උදව් කර ගත්තා. ඒ උදව් කළ හැමෝටම පිං සිද්ද වෙන්න පණපිටින් පස්වලට යටවී මිය යන්නට තිබුණු අවස්ථාව බේරුණා. මේ වෙලාවේ එතැන හිටිය හැමෝම එකා වගේ උදව් කරන බව දැනුණා.
අපට තවදුරටත් ජීවත් වන්නට වාසනාව උදා කරලා දුන්නට හැමෝටම අපි ණය ගැති වෙනවා.
දහවල් දොලෙහේ ඉඳල රෑ 9 විතර වෙනකල් මෙතෙන වැඩ කරන්න සූූදානම් කරලා තිබුණා.
මේ සිද්ධිය වුණු වෙලාවේ අපට කථා කරන්නවත් හුස්ම ගන්නවත් බැරිව සෑහෙන වෙලාවක් හිටියා. කොහොම හරි මම බේරෙන්න තමයි බැලූවේ. සිද්ධිය වෙනකොට අටහමාරට විතර ඇති. පස් කණ්ඩිය උඩහ පුපුරලා තිබ්බා. ඒත් අපි හිතුවේ නැහැ කඩා වැටෙයි කියලා. පොඩි පොද වැස්සකුත් වැටුණා. අපි අවුරුදු ගණනාවක් තිස්සේ කම්කරු රස්සාව කලත් මේ වාගේ බිහිසුණු අවස්ථාවකට මුහුණ දුන් මුල්ම අවස්ථාව මෙයයි. අපි මරු පෙනි පෙනී පස් ගොඩට යටවෙලා ඉඳිද්දී අපේ වාසනාවකට එතැනට පැමිණි පිරිසක් අපිට යළි මෙලොව ජීවත් වීමට වාසනාව උදාකරලා දුන්නා. මේවාගේ දෙයක් හතුරකටවත් වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනේ අපව බේරාගන්න වෙලාව අවේලාව නොබලා උදව් උපකාර කළ මාවනැල්ල පොලිසියට, කඩුනගන්නාව මාවනැල්ල ගිලන්රථ සේවාවට, මාවනැල්ල මූලික රෝහලට සහ කෑගල්ල මහ රෝහලේ කාර්යමණ්ඩලවලටත් අප ගලවා ගන්න උදව් උපකාර කළ අසල්වැසියන්ටත් හදවතින්ම ස්තුතිය පුදකරනවා.