රත්ගම ප‍්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළ ව්‍යාපාරිකයන් දෙදෙනා මීට ඉහතදී සිදු වූ මිනිමැරුම්, කොල්ලකෑම් සහ ආයුධ ළඟ තබා ගැනීම් ඇතුළු අපරාධ කීපයකට සම්බන්ධවූවන් බව පොලිසිය කළ විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.
ඝාතනයට ලක්වූ මංජුල කුමාර නමැත්තා ඉකුත් 2010 වර්ෂයේ දෙසැම්බර් 10 වැනිදා ආණමඩුව ප‍්‍රදේශයේදී ස්ටැනිස් ජෝෂප් නමැති ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කළ ප‍්‍රධාන සැකකරු බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇති අතර කොතලහිඹුටු පිටරට යැවීමේ ජාවාරම කරගෙන ගිය මෙම ව්‍යාපාරිකයා ඝාතනය කර තිබුණේ වත්තල ප‍්‍රදේශයේ දේශපාලනඥයකු ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් මත බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණවලින් හෙළිවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ඝාතනය සිදු වෙද්දි මංජුල අසේල කුමාර යුද හමුදාවට සම්බන්ධ විශේෂ බළකායක සේවය කරමින් සිටි පුද්ගලයෙක් වන අතර ඝාතනයට අදාළ නඩුව ආණමඩුව අධිකරණයේ විභාග වන අතර එය ලබන අපේ‍්‍රල් මස 04 වැනිදා නැවත කැඳවීමට නියමිතව තිබුණා.
මේ අතර රත්ගමදී පැහැර ගැනීමට ලක්ව ඝාතනය වූ රසින් චින්තක නමැත්තා ද ඉකුත් 2012 වර්ෂයේ නොවැම්බර් මස 17 වැනිදා රත්ගම ප‍්‍රදේශයේ කොල්ලකෑමක ප‍්‍රධාන සැකකරුවෙක් බවයි හෙළිවී ඇත්තේ.
මෙම කොල්ලකෑමට අදාළ නඩුව ලබන අපේ‍්‍රල් මස 24 වැනිදා ගාල්ල අධිකරණයේ විභාගයට ගැනීමට නියමිතයි.
මේ අතර ටී56 ජීව උණ්ඩ ළඟ තබාගැනීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව නඩුවක් ගාල්ල අධිකරණයේ විභාග වෙමින් පවතිනවා.
පොලිස් ආරංචි මාර්ග අනුව මෙම දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනිදා රැගෙන ගොස් තිබුණේ ගිනිඅවියක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහායි.
එහිදී ප‍්‍රශ්න කිරීම් අතරතුර එක් අයකු මියගොස් ඇති අතර පසුව පොලිස් නිලධාරීන් අනෙක් පුද්ගලයා ද ඝාතනය කර මළ සිරුරු වලස්මුල්ල කැලෑවකට රැගෙන ගොස් ගිනි තබා විනාශ කර තිබුණා.