අම්මා දුන් වකුගඩුව බද්ධ කළ පසු රෝහලේදීම පුතු ලොව හැර යයි; සැත්කමට මිලියන දෙකකට වැඩි වියදමක්

පෞද්ගලික රෝහලක රුපියල් මිලියන දෙකකට අධික මුදලක් වියදම් කරමින් සිදුකළ වකුගඩු බද්ධ කිරීමකින් අනතුරුව තරුණයකු හදිසියේම මියයෑම සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී විශේෂ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකෙරුණු අතර වකුගඩු බද්ධය සිදුකළ බව කියන විශේෂඥ වෛද්‍යවරයා කැඳවා එම මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ සිදුකිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඊයේ (19දා) කටයුතු කරනු ලැබීය.

අනුරාධපුර නගර ආසන්නයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත. ඔහුගේ මරණය පිළිබඳව දැඩි සැකයක් මතුවීම නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු විසින් විශේෂ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවේය.

මීට මාස තුනකට ඉහතදී මියගිය තරුණයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කඩිනම් වකුගඩු බද්ධයක් සිදුකළ යුතු බවට වෛද්‍ය නිගමනය වී තිබූ අතර තරුණයාගේ මව විසින් සිය පුත්‍රයාගේ ජීවිතය බේරා ගැනීමට ඇයගේ නිරෝගී වකුගඩුවක් සිය පුත්‍රයා වෙනුවෙන් පරිත්‍යාග කර තිබිණි. එම බද්ධය කඩිනමින් සිදුකිරීමට රුපියල් ලක්ෂ 26ක මුදලක් අවශ්‍යව තිබූ අතර විවිධ සමිති සමාගම්, හිතවතුන්, ඥාතීන් විසින් ලබාදී තිබූ ආධාර මත අදාළ මුදල සරිකර ගැනීමෙන් අනතුරුව සැත්කම මධ්‍යම පළාතේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක සිදුකර තිබිණි.

වකුගඩු බද්ධය සිදුකිරීමෙන් මාස තුනකට පසු තරුණයා පසුගිය සතියේ අනුරාධපුර පිහිටි නිවෙසට පැමිණ තිබෙන අතර එහි පැමිණීමෙන් පසුව හදිසියේම ඔහු අසාධ්‍ය තත්ත්වයට පත්වීම නිසා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා (18දා) මියගොස් තිබිණි.

තරුණයාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා ඥාතීන් හදිසි පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලා තිබූ අතර එහිදී ඔහුගේ මරණයට හේතුව මොළයට විෂ බීජයක් පැතිරීයෑම බව අනාවරණය කර තිබිණි.

තරුණයාගේ මරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඥාති පිරිසක් මෙසේ පැවැසූහ.

මොළයට විෂ බීජයක් ගියා කියලා වෛද්‍යවරයා කිවුවම අපිට සැකයක් ඇතිවුණා මරණය පිළිබඳව. අපි වෛද්‍යවරයාට කිවුවා එහෙම වෙන්න විදියක් නෑ, වකුගඩු බද්ධයක් කරලා තියෙන්නේ කියලා.

පසුව වෛද්‍යවරයා සිරුර කපලා කිවුවා එහෙම වකුගඩු බද්ධයක් සිදුකරපු බවක් පේන්න නෑ. උපතින්ම ලැබුණු වකුගඩු නරක්වෙලා තියෙන්නේ කියලා. ඒ අනුව පෙරේදා (18දා) මරණයට විවෘත තීන්දුවක් දුන්නා. පසුව නැවතත් (19දා) රෝහල් මෘතශරීරාගාරයේදී නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළා. ඒ පරීක්ෂණයට පෞද්ගලික රෝහලේදී වකුගඩු බද්ධය සිදුකළ බව කියන විශේෂඥ වෛද්‍යවරයාත් පැමිණියා.

ඔහු පෙන්නුවලු වකුගඩුව බද්ධවෙලා තියෙන්නේ කියලා. අපිට ඉතින් එතැනින් එහාට වෛද්‍ය විද්‍යාවටත් වෙන කාටවත් අභියෝග කරන්න බෑ. අධිකරණ වෛද්‍යවරයා කිව්වා වකුගඩුව බද්ධ කරලා තියෙන්නේ කියලා. වකුගඩු බද්ධය කරපු වෛද්‍යවරයා කිව්වේ හරි දැන් හොඳයි කිසි ප්‍රශ්නයක් නෑ රෝගියා සුවවෙයි කියලා.

නමුත් දරුවට ජීවිතය නැතිවුණා. අම්මට වකුගඩුවක් නැතිවුණා. අමාරුවෙන් හොයාගත්ත රුපියල් ලක්ෂ 26ක් වතුරේ ගියා යනුවෙන් ඔවුහු පැවැසූහ.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය