“කිරිවෙහෙර පින්බිමේදී මට වෙඩි තබයි කියා හිතුවේ නෑ” – විහාරාධිපති හිමියන්

“2018 වසරේ ඇසළ පෙරහර මංගල්‍යයට පෙර මා ඝාතනය කිරීමට මහසෙන් දේවාලයේ හිටපු කපුවකු වන අසේල බණ්ඩාර සැලසුම් කරන බවට මට තොරතුරු ලැබුණා. කිරිවෙහෙර පින්බිම තුළ දී වෙඩි තබා මා ඝාතනය කිරීමට ඒ අය කටයුතු කරාවි යැයි හිතුවෙම නෑ.” යැයි කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියෝ තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කළා.

කතරගම කිරිවෙහෙර නාහිමියන් ඝාතනය කිරීමේ සැලසුම සම්බන්ධ නඩුව තිස්සමහාරාම අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී කොබවක ධම්මින්ද නාහිමියෝ සාක්ෂි දෙමින් එසේ සඳහන් කළා.

තිස්සමහාරාම මහෙස්ත්‍රාත් කාංචනමාලා ගුණසේකර මහත්මිය හමුවේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් ධම්මින්ද හිමියෝ සාක්ෂි දෙමින් මෙසේද සඳහන් කළා.

“කතරගම කිරිවෙහෙර චෛත්‍ය මළුවේ තිබෙන මහසෙන් දේවාලය තමන්ගේ පාරම්පරික උරුමයක් බවට අසේල බණ්ඩාර කපුතැන වැරදි තොරතුරු එක් කරමින් පුවත්පතක ලිපියක් පළ කර තිබුණා. ඒ ලිපිය කියැවූ බොහෝ පිරිසක් මහසෙන් දේවාලය කිරිවෙහෙරට අයිතිද කපුවාට අයිතිද යන්න මගෙන් විමසා සිටියා. මම ඒ ලිපිය පළ කළ පුවත්පතට කතා කර එය නිවැරදි කර පළ කරන්නැයි ඉල්ලා සිටියා. පසුව ඉල්ලීම ලිපියක් මඟින්ද කළා. පසුව නිවැරදි කිරීමක් පළ කරා. මේ ලිපිය සම්බන්ධව අසේල බණ්ඩාර නමැත්තාට සේවක රැස්වීමේදී මා එහි බරපතළකම තේරුම් කරදී ඔහුගේ සේවය මසකට අත්හිටුවීමට තීරණය කළා. ඒ නිසයි මේ ආරවුල නිර්මාණය වුණේ.

එදා මහසෙන් දේවාලයේ සේවය කළ පිරිස එක්ව මාව ඝාතනය කරන්නට සැලසුම් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අසේල බණ්ඩාර. මේ අධිකරණයේ පළමුවැනි විත්තිකරු ලෙස විත්තිකූඩුවේ සිටිනවා. එදා මට වෙඩි තබපු දවසේ දීපිකා දිල්හානි නමැති හත්වැනි සැකකාරිය මම යන එන ගමන් බිමන් ගැන තොරතුරු සොයමින් කිරිවෙහෙර පුදබිමේ රැඳී සිටිනවා මම දැක්කා. ඒත් මේ වගේ පින් බිමකදී වෙඩි තබා මාව ඝාතනය කිරීමට සැලසුම් කරාවි කියලා මම හිතුවෙ නැති නිසා මාගේ දෛනික චර්යාවට අනුව එදිනත් රාත්‍රියේ චෛත්‍යය වන්දනා කරන්න ආවා. ඒ ඇවිත් යනකොට තමයි මා මේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වුණේ. ඒ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ අධිකරණයේ සිටිනවා.”

මෙදින කිරිවෙහෙර නාහිමියන් සමඟ කිරිවෙහෙර චෛත්‍යය වන්දනා මාන කිරීම සඳහා වැඩම කරද්දී වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ වීදාපොළ සෝභිත හිමියන් සහ කැබැල්ල කැටියේ ප්‍රේමරතන හිමියෝද අධිකරණයේදී සාක්ෂි ලබාදුන්නා.

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් ඝාතන සැලසුම සම්බන්ධයෙන් සිදුකළ සියලු පරීක්ෂණයන්ට අදාළ රස පරික්ෂක වාර්තා DNA පරීක්ෂණ වාර්තා හා සීසීටීවී කැමරාවලින් ලබාගත් සංයුක්ත තැටිවල විශ්ලේෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කඩිනමින් උද්ධෘත ගොනු කරන ලෙස තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *