නවසීලන්ත ප්‍රහාරකයා සමග පොරබදා මිනිසුන් බේරුවා.. – ‘ජීවිතය පුදා සටන් කළ මිනිසෙකුගේ’ නොදත් කතාව

ඕස්ට්‍රේලියා ජාතික 28 හැවිරිදි බ්‍රෙන්ටන් ටැරන්ට්, ක්‍රයිස්ට්චර්ච් නුවර අල් නූර් මුස්ලිම් පල්ලියට ඇතුළු වී වෙඩි තබද්දී, ඔහු මෙල්ල කිරීමට සිය ජීවිතය නොතකා ක්‍රියා කළ පාකිස්තාන ජාතිකයකුට සිය රට මගින් ජාතික සම්මානය ලබාදෙනු ඇති බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසනවා.

මෙම පුද්ගලයා නයීම් රෂීද් නම් වනවා.

බ්‍රෙන්ටන් ටැරන්ට් මෙල්ල කිරීමට පොර බදද්දී, වෙඩි පහරට ලක් වී බරපතල තුවාල ලැබූ නයීම් රෂීද් රෝහල් ගත කරද්දී ජීවිතක්ෂයට පත් වුණා.

ඔහුගේ 21 හැවිරිදි පුත්‍රයා තල්හා සයීම් පල්ලිය තුළ සිට ඇති අතර, බ්‍රෙන්ටන් ටැරන්ට් කළ වෙඩි තැබීමෙන් ඔහු ද මියගියා..

නයීම් රෂීද් පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවරින් නවසීලන්තයට ගොස් පුරවැසිභාවය ලබා ගත් අයෙක් වන අතර ඔහු ගුරුවරයකු ලෙස රැකියාව කළ අතර, පුතා තල්හා සයීම් ඉන්ජිනේරු සිසුවෙක් වනවා.

ත්‍රස්තවාදියා වෙත කඩා වැදී ඔහු සමඟ පොර බදද්දී, පල්ලියේ සිටි බොහෝ දෙනකුට බේරී පලා යෑමට හැකියාව ලැබුණු බව ද පැවසෙනවා.

නයීම් රෂීද් කළ වික්‍රමය වෙනුවෙන් ඔහුට පාකිස්තාන ජාතික සම්මානය පිරිනැමීමට තීරණය කළ බවත් පාකිස්තානුවකුට ලැබිය හැකි ඉහළම ගෞරව සම්මානය එය බවත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නා.

මෙම වෙඩි තැබීමෙන් පාකිස්තානුවෝ නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා..

අල් නූර් පල්ලියේ කළ වෙඩි තැබීමෙන් පසු බ්‍රෙන්ටන් ටැරන්ට් ඉන්පසු කඩා වැදුණේ ඊට නුදුරින් පිහිටි ලින්ඩුඞ් මුස්ලිම් පල්ලියටයි.

ලින්ඩුන් පල්ලියට කඩා වැදී බ්‍රෙන්ටන් ටැරන්ට් වෙඩි තබන්න පටන් ගත් අවස්ථාවේදී, කුඩා ක්‍රෙඩිට් කාඞ් මැෂිමකින් ඔහුට පහර දී, අභියෝග කරමින්, ඔහු පල්ලියෙන් පිටතට ගෙන ගිය අබ්දුල් අසීස් නමැත්තා ද මේ වනවිට විරයකු බවට පත් වී තිබෙනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *