ළමා අපයෝජන වළක්වා ගැනීමට ජනතාවගේ සහයෝගය අවශ්‍යයි

ළමා අපයෝජනයන් සහ හිංසාකාරී ලෙස දරුවන් පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් ළමා ආරක්ෂක අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ළමා අපයෝජනයන් වළක්වා ගැනීමට සහයෝගය ලබා දීම ජනතාවගේද යුතුකමක් හා වගකීමක් බවයි ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ගෙවුණු දින කිහිපයේ දී ළමා අපයෝජනයන් සහ හිංසාකාරී ලෙස දරුවන් පීඩාවට පත් කළ සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා. ගාල්ල හබරාදූව ප්‍රදේශයේ ළමුන් ලිංගික අපයෝජනයට ලක් කර එම දර්ශන වීඩියෝ ගත කරමින් විදේශයන්ට අලෙවි කල බව කියන සිද්ධියක් ද වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් මේ වන විට ළමාරක්ෂක අධිකාරිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක පිරිමි ලමුන් දස දෙනෙකු පමණ අදාළ පුද්ගලයා අපයෝජනයට ලක් කර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ඊයේ දිනයේ දී පස් හැවිරිදි දරුවෙකු හිංසාකාරී අයුරින් පීඩාවට ලක් කල පියෙකු පිළිබද වාර්තා වුණේ කුලියාපිටිය ප්‍රදේශයෙන්. දරුවාගේ ගෙලට පිහියක් තබා ඝාතනය කරන බව පවසමින් එය වීඩියෝගත කර අදාල පුද්ගලයා එය දරුවාගේ මව වෙත යවා තිබෙනවා. සිද්ධියෙන් දරුවාගේ ගෙල ප්‍රදේශයට සුළු තුවාල සිදුවී තිබෙන ආකාරය ද දැකගත හැකි වුණා.

මේ අතර ළමුන් අපයෝජනයට සහ හිංසාවට ලක් කල සිද්ධීන් ගණනාවක් ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගිය දිනවල වාර්තා වුණා. මෙම තත්වය වළක්වා ගනිමින් ළමා පරපුර ආරක්ෂා කර ගැනීමට රටේ ජනතාවගේ ද සහයෝගය ලැබිය යුතු බව ලමා රක්ෂක අධිකාරිය අවධාරණය කරනවා. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කුමන ආකාරයක හෝ තොරතුරක් ඔබ දන්නේ නම් 1929 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *