අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් ජනපතිගෙන් නව ගැසට් නිවේදනයක්

සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාළව නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.

එම ගැසට් නිවේදනයට අදාළව මූලික භාණ්ඩ හා සේවා වර්ගීකරණයන් 10ක් ඇතුළත් වේ.

වරාය, පෙට්ට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම සහ බෙදාහැරීම, රේගු ආඥා පනතට අනුව සිදුකළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලු සේවාවන් ක්‍රියාත්මක කිරීම, භාණ්ඩ ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්ම මගී ප්‍රවාහනය සඳහා ගමනාගමන මණ්ඩලය විසින් සිදුකරන සියලුම ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කළ යුතුය.

එම පොදු සේවාවන් සේවා අවශ්‍යතාවයන් අනුව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන්නා වූ නඩත්තුව හා ආරක්ෂක මෙන්ම මෙහෙයුම් පවත්වා ගැනීම ඒ අනුව සිදුකළ යුතු වේ.

මීට අමතරව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු පරිපාලන ඒකකද, මහ බැංකුව ඇතුළු සියලු රාජ්‍ය බැංකු, රක්ෂණ සේවාවන්ද එම ගැසට් නිවේදනයෙන් ආවරණය කෙරේ.

එමෙන්ම සමූපාකාර, සතොස ආදී ජනතාවට ආහාර පාන සහ අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය සැපයීමට ආයතනද එම ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අතර මැනිං වෙළෙඳ පොළ ඇතුළු දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන අද දිනයේත් විවෘතව පවතී.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීම දින කිහිපයකට වරක් සිදුවන අතර ඒ අනුව ඊයේ (17) දිනයේද මධ්‍යස්ථාන විවෘතව තැබුණි.

ඒ අනුව යළිත් දින 03 කින් කොළඹ මැනිං වෙළෙඳපොළ සහ ආර්ථික මධස්ථාන විවෘතව තැබීමට නියමිතය.

මේ අතර එළවළු සහ ආහාර පාන අලෙවි කිරීමේදී සිල්ලර වෙළෙඳුන් මිල දර්ශනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර තිබේ.

ව්‍යාපාරකයින් සහ ජංගම වෙළෙද රථ රථවල අලෙවි කරන භාණ්ඩ අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවට ලද පැමිණිලි මත එම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *