ජනපතිවරණයට පෙර අලුත් ආණ්ඩුවක්?

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමට පෙර අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉකුත් සතියේ කොළඹදී සහ මාතලේදී සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇත.

අලුත් ආණ්ඩුව පිහිටුවීමේදී අගමැති තනතුර සඳහා ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකුගේ නම් යෝජනා වී ඇති බව දැනගන්නට ඇත.

නම් ඉදිරිපත් වී ඇති දෙදෙනා අතර එක්සත් ජාතික පක්ෂය අර්බුදවලට මුහුණපෑ හැම අවස්ථාවකදීම පක්ෂය රැකගැනීමට මුල් වී ක්‍රියාකළ ජේ‍යෂ්ඨයකුද වෙයි.

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ කිහිපයකම සහාය යෝජිත ආණ්ඩුව පිහිටුවීමේදී ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ. නව ආණ්ඩුව සඳහා පත් කෙරෙන අගමැතිවරයා කෙරෙහි විශ්වාසය පළ කෙරෙන යෝජනාවට පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයක් ලබාදෙන බවට කැමැත්ත ප්‍රකාශ කර ඇති මන්ත්‍රිවරුන්ගේ කැමැත්ත ප්‍රකාශිත අස්සන් ලේඛනයක් ලබාගෙන එම ලේඛනය ජනාධිපතිවරයා සමඟ සිදුකෙරෙන සාකච්ඡාවේදී ඉදිරිපත් කිරීමටද තීරණය වී ඇත.

මෙම ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුද එක්වෙන අතර ඔවුන් වෙත ඇමැති තනතුරු පිරිනැමීමටද සාකච්ඡා වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි පවසයි. බොහෝදුරට අලුතින් පිහිටුවන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් විය හැකි බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරයෙක් පැවැසීය.

ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට අපේක්ෂිත සාකච්ඡාව බොහෝදුරට ලබන සතියේ පැවැත්වීමට ඉඩ ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.