නවසීලන්ත දේවස්ථානයට ‘ප්‍රහාරය එල්ල වන විට’ ගේට්ටුව අසළ සිටි ලාංකිකයා

පුද්ගලයින් 50 දෙනෙකුට මරු කැඳවමින් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි ඉස්ලාම් දේවස්ථාන දෙකකට වෙඩි ප්‍රහාර එල්ල වන විට වෙඩි තැබීමේ සිද්ධියට මුහුණ දී අනූනවයෙන්’ දිවි ගලවා ගත් ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව වාර්තා වනවා.

අබ්දුල් මුයිස් නම් වන ඔහු බීබීසී යට පවසා ඇත්තේ “පල්ලියට ගිහින් යාච්ඤා කරන්නත් තවමත් බියක් පවතින” බවයයි.

වෙඩි ප්‍රහාරය එල්ල වන විට ඔහු ක්‍රයිස්ට්චර්ච්හි අල් නූර් දේවස්ථානයට ඇතුළු වෙමින් සිට තිබෙනවා.

“මම ඇතුළු වෙන්න ඔන්න මෙන්න කියලා මේක වුණේ. එතකොට මට යන්න තිබුණේ මීටර් 5ක වගේ දුරක්. මම දැක්කා ගෑණු කට්ටියක් පල්ලියේ ඉඳලා එළියට දුවගෙන එන එක. ඒ ගොල්ලෝ දුවගෙන එන්නේ ඇයි කියලා අපි දැනගෙන හිටියේ නැහැ. මමත් යාළුවත් එක්ක දුවන්න පටන් ගත්තා. ඒ වෙලාවේ වෙඩි සද්ද ඇහෙන්න ගත්තා.

මම දුවගෙන ගියේ හැංගෙන්න හිතාගෙන. වෙඩි සද්දේ දිගට ම තිබුණා. ඒත් මං ගිය ලේන් එකේ තිබුණේ ඩෙඩ් එන්ඩ් එකක්. හැංගෙන්න තැනක් තිබුණෙත් නෑ. ඊට පස්සේ ආපහු දුවගෙන මේන් රෝඩ් එකට ආවා. වෙඩි සද්දේ දිගට ම ඇහෙද්දී මම මගේ කාර් එක ළඟට දුවගෙන ගිහින් එතනින් ඉවත් වුණා.

සිකුරාදා නින්ද ගියේ ම නැහැ. සෙනසුරාදා නම් මහන්සියට නින්ද ගියා. හැබැයි මෙහෙ ඉන්න මිනිස්සු හරි ම හොඳයි. සියලු දෙනා ම උදව් කරනවා.

“මේ සිද්ධිය නිසා කෝපයට පත් වෙලා ඉන්න සමහර අය කියනවා සැකකරුට මරණ දඬුවම දෙන්න කියලා. ඒත් අන්ත දක්ෂිණාංශික විදිහට හිතන අය ගොඩක් රටවල ඉන්නවා. ඒ නිසා මරණ දඬුවම දීමෙන් මේක නවත්වන්න අමාරුයි. මේ වගේ දේවල් නැත්තට ම නැති වෙයි කියල හිතන්න අමාරුයි.” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *