ප්‍රහාරය අසළ දරුවන්ගේ රැළියක් තිබිලා – අතුරුදන්වූ දරුවන් සොයන්න උත්සාහයක්

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාර එල්ල වන විට කුඩා දරුවන්ගේ දේශගුණික වෙනස්වීම් සම්බන්ධයෙන් කුඩා දරුවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රයිස්ට්චර්ච් ආසන්නයේ දැවැන්ත රැලියක් පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඊට සහභාගී වූ දරුවන් සොයාගැනීම සඳහා ක්‍රයිස්ට්චර්ච් නරග සභාව වෙනමම දුරකතන සේවාවක් ද ආරම්භ කර තිබුණු බවයි එම මාධ්‍ය පවසන්නේ.

ඊයේ (15) දිනය පුරාම දරුවන් සෙවීම සඳහා විශාල උත්සාහයක් ගත් බවද එම විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

මේ අතර මෙම ත්‍රස්ත ප්‍රහාරයේ දී බොහෝ දෙනා වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇත්තේ සමීප දුරක සිට බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

තුවක්කුකරු දේවස්ථානයේ සිටි පුද්ගලයකුගේ හිසට වෙඩි තබන අයුරු තමන් දුටු බව එහි සිටි පලස්තීන ජාතිකයෙක් පවසා ඇති අතර සියල්ල සිදුවීමට වැඩි වේලාවක් ගත නොවුණු බවත් භීතියට පත් ජනතාව ලේ හලමින් සීසිකඩ දිව ගිය බව ත් හෙතෙම සඳහන් කළ බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

තමන්ගේ බිරිඳ මියගොස් දේවස්ථානයෙන් පිටතට වැටී සිටින අයුරු දුටු බව එක් පුද්ගලයකු පැවැසූ අතර කුඩා දරුවන් ද වෙඩි ප්‍රහාරවලට ලක්වන අයුරු දුටු බව තවත් පුද්ගලයෙක් පවසා තිබෙනවා.

වෙඩි තැබීම් දෙකෙන් ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබුවෝ බොහෝ දෙනා යාඥා සඳහා දේවස්ථනයට පැමිණ සිටි ලොව විවිධ රටවල ජාතිකයන් යැයි පැවසෙනවා.

ප්‍රහාරයට ගොදුරු වූවන් අතර ඉන්දුනීසියානු ජාතිකයන් හය දෙනකු සිට ඇති අතර ඔවුන්ගෙන් තිදෙනකු කාන්තාවන් බවත් ඔවුන් සයදෙනා නිරුපද්‍රිතව සිටින බවත් එරට විදේශ අමාත්‍ය රෙට්නෝ මර්සුදි සඳහන් කළා.

තුවාල ලැබූවන් අතර මැලේසියානු ජාතිකයන් දෙදෙනකු, සෞදි අරාබියානු ජාතිකයකු සහ ජෝර්දාන වැසියන් කිහිපදෙනකු සිටින අතර වෙඩි තැබීම්වලින් තුර්කි ජාතිකයන් දෙදෙනකු සුළු තුවාල ලැබූ බව තුර්කි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

හතළිස් අට දෙනකුට ක්‍රයිස්ට්චර්ච් රෝහලේදී ප්‍රතිකාර කළ බවත් ඔවුන් අතර කුඩා දරුවන් ද වූ බවත් වාර්තා වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *