නවසීලන්ත දේවස්ථානයේ සිදුවූ වෙඩි තැබීම ‘ලාංකිකයන් අත්දුටු හැටි ‘ BBC වාර්තා කරයි

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් පැවසුවේ, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකන අතර, එය “නවසීලන්තයේ අඳුරු ම දින අතරින් එකක්” බවය.

එරට පොලිසිය පැවසුවේ, වෙඩි තැබීම්වලට අදාළව පුරුෂයින් තිදෙනෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බවයි.

මෙම ප්‍රහාරය එල්ල වූ දේවස්ථානයට ඉතා ආසන්නයේ පිහිටි සිය සේවා ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයෙකු වන හේෂාන් පෙරේරා බීබීසී සිංහල සේවයටසඳහන් කර ඇත්තේ “දහවල් 12.30ත් 1.30ත් අතර කාලයේ මෙය සිදුවූ” බවයි.

“මම ඒ වෙලාවේ පල්ලිය කිට්ටුව තියෙන මගේ ඔෆිස් එකේ හිටියේ. ප්‍රහාරයෙන් පස්සේ හැම ඔෆිස් එකක් ම ලොක් කළා. මගේ වයිෆ් වැඩ කරන්නේ ඉස්කෝලෙක. අපි හැමෝම ඔෆිස්වල හිර වුණා. දැන් ටිකකට කලින් තමයි අපිට ගෙදර යන්න ලැබුණේ. දැන් පාරේ ගොඩක් වාහන තදබදයක් තියෙනවා.”

හේෂාන් පෙරේරා සඳහන් කළේ, නවසීලන්තය තුළ ත්‍රස්ත ප්‍රහාර වැනි සිද්ධි ඉතා විරල හෙයින් මෙම සිදුවීම නිසා එරට වැසියන් බෙහෙවින් තැති ගැන්මකට ලක්වූ බවයි.

“මීට අවුරුදු 8කට කලින් මෙහෙ භූ කම්පනයක් ඇති වෙලා 200 දෙනෙක් විතර මැරුණා. ඒ කම්පනය තවමත් මෙහෙ මිනිස්සුන්ට තියෙනවා. ඒ අතරේ මේ වගේ ප්‍රහාරයක් එල්ල වුණ එක ඒ අයට ලොකු ෂොක් එකක්. සාමාන්‍යයෙන් නවසීලන්තයේ අපරාධ ක්‍රියා සිද්ධ වෙන්නේ හරි අඩුවෙන්,” හේෂාන් සඳහන් කර තිබෙනවා.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ නවසීලන්තයේ පදිංචි මෙලිස්සා සෝමවර්ධන සඳහන් කළේ, “මෙම සිද්ධිය පිළිබඳව දැඩි කම්පනයකට පත් වූ” බවයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් වූ බවට වාර්තා වී නොමැති බව ඇය පැවසුවා.

මෙලිස්සා සෝමවර්ධන ප්‍රකාශ කළේ, නවසීලන්ත පුවත් වාර්තා අනුව අදාළ වෙඩි තැබීම් සිදුවූ ස්ථාන දෙකෙහි තිබී බෝම්බ කිහිපයක් ද සොයාගෙන ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *