26/11 ම්ලේච්ඡ ප්‍රහාරයට වසර දාහතරක් ගතවේ

මීට වසර දාහතරකට පෙර, ඉන්දියාවේ වාණිජ අගනුවර වන මුම්බායි වෙත පැය 60කට වැඩි කාලයක් පුරා පාකිස්තානයේ සිට ක්‍රියාත්මක ලෂ්කාර්-ඊ-ටයිබා ත්‍රස්ත සංවිධානයේ තුවක්කුකරුවන් දස දෙනෙකු විසින් දියත් කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය අදට ද ඉන්දියානුවන්ගේ සිත් තුලින් ඉවත්ව ගොස් නැත.

සුඛෝපභෝගී හෝටල් දෙකක්, රටේ කාර්යබහුලම දුම්රිය ස්ථානවලින් එකක්, විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය ආපන ශාලාවක් සහ යුදෙව් ප්‍රජා මධ්‍යස්ථානයක් ත්‍රස්තයන්ගේ ඉලක්ක විය. ඉන්දියාවේ හදවතට එල්ල කළ ’26/11 ප්‍රහාරය’ ලෙස හැඳින්වෙන මෙම ම්ලේච්ඡ ක්‍රියාව හේතුවෙන් පුද්ගලයන් 166 දෙනෙකු මියගොස් තවත් 300කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලැබූ අතර, ලෂ්කාර්-ඊ-ටයිබා ත්‍රස්ත සංවිධානය ගෝලීය ත්‍රස්තවාදී සිතියමට ඇතුළත් විය.

ප්‍රහාරයන් වන අවස්ථාව වන විටත් ලෂ්කාර්-ඊ-ටයිබා දකුණු ආසියාවේ බලවත්ම ත්‍රස්තවාදී කණ්ඩායම්වලින් එකක් වූ අතර, එය අදට ද සාමාන්‍යයෙන් සැලකෙන්නේ ඉන්දියාවට එරෙහිව පාකිස්තානයේ වඩාත්ම ආක්‍රමණශීලි ත්‍රස්ත කණ්ඩායම ලෙසය.

පාකිස්තාන හමුදාව සහ එහි අන්තර් සේවා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (ISI) සමඟ මෙම සටන්කාමී කණ්ඩායමට ඇති සම්බන්ධය ඉතාම පැහැදිලිය. මුම්බායි ප්‍රහාරය ඇතුළුව වෙනත් කිසිදු ප්‍රහාරයක් ලෂ්කාර්-ඊ-ටයිබා විසින් සිය පාකිස්ථාන නායකයන්ගේ අවසරයකින් තොරව ක්‍රියාත්මක කර නොමැත.

නිදසුනක් ලෙස මුම්බායි ප්‍රහාරයට සම්බන්ධ, දැනට එක්සත් ජනපදයේ වසර 35ක සිර දඬුවමක් විඳිමින් සිටින පකිස්ථාන-ඇමරිකානුවෙක් වන ඩේවිඩ් කෝල්මන් හෙඩ්ලි ත්‍රස්ත කණ්ඩායම සමඟ ගත කළ කාලය තුළ විවිධ පකිස්ථාන බුද්ධි නිලධාරීන් හය දෙනෙකු හමු වූ බවට සාක්ෂි ලබාදී ඇත.

26/11 ප්‍රහාරය සැලසුම් කිරීමට සහ සහාය දැක්වීමට උදව් කළ අයිඑස්අයි නිලධාරීන් කිහිප දෙනෙකු ද හෙඩ්ලි විසින් හඳුනා ගත් අතර, හෙඩ්ලි පවසන පරිදි, ඉක්බාල් නම් මුම්බායි ප්‍රහාරයට මඟ පෙන්වීම සහ අරමුදල් සැපයූ පුද්ගලයකු සමගද සෘජුව සම්බන්ධතා පවත්වා ඇත.

මුම්බායි ප්‍රහාරය අතරතුර,හෙඩ්ලි පවසන පරිදි, ඉක්බාල් පුද්ගලිකවම ඉලක්කයක් ලෙස යුදෙව් ප්‍රජා මධ්‍යස්ථානය තෝරාගෙන ඇත්තේ, එය ඊශ්‍රායල මොසාඩ් සංවිධානයේ පෙරමුණක් යැයි සිතූ නිසා බව විමර්ශන වාර්තා සඳහන් කරයි. මේ මුම්බායි ප්‍රහාරය සම්බන්ධයෙන් වෙනමම විමර්ශනයක් සිදුකළ ඇමරිකානුවන් විශ්වාස කරන්නේ මේ ආකාරයේ කුමන්ත්‍රණයක් ISIහි (ISI යනු පකිස්ථානයේ ප්රමුඛතම බුද්ධි ආයතනයයි) ඉහළම මට්ටම්වල අනුමැතියකින් තොරව කිසි විටෙකත් සිදුකළ නොහැකි බවයි.

අනෙක් අතට, ප්‍රහාරකයින් හිතාමතාම විදේශිකයන් නිතර ගැවසෙන නගරයේ ප්‍රදේශ ඉලක්ක කරගෙන තිබුණු අතර, එය පැහැදිලිවම ඔවුන්ගේ ක්‍රියාවන්හි ගෝලීය බලපෑම උපරිම කරනු ඇතැයි යන අදහසින් කරන ලද්දක් මිස අන් කිසිවක් නොවේ.


මුම්බායි ප්‍රහාරයේ වෙන් වෙන් වශයෙන් ගත්කල සිදුවීම කිහිපයක්ම දැකගත හැකිය. ඒ අතුරින් එකක් වන්නේ “චබාද් හවුස්” වෙත එල්ලවූ ප්‍රහාරයයි. ත්‍රස්තයන් ඉලක්ක කරගත් ස්ථාන අතර “චබාද් හවුස්” ලෙසද හැඳින්වෙන නාරිමන් හවුස් ද විය. සංවිධායකයින් විසින් හිතාමතාම තෝරා ගන්නා ලද මෙම ස්ථානයේ ඊශ්‍රායල පුරවැසියන් හය දෙනෙකු වධහිංසා පමුණුවා මරා දමන ලදී.

මියගිය ඊශ්‍රායල ජාතිකයන් අතර චබාද් නිවස කළමනාකරණය කළ රබ්බි ගැව්රියෙල් හොල්ට්ස්බර්ග් සහ ඔහුගේ බිරිඳ රිව්කා ද විය. එහිදී හොල්ට්ස්බර්ග්ගේ නැනී ලෙස සේවය කළ ඉන්දියානු පුරවැසියෙකු වන සැන්ඩ්‍රා සැමුවෙල් ඔවුන්ගේ එවකට දෙහැවිරිදි පුත්‍රයා වූ මෝෂේ බේරා ගැනීම සඳහා තම ජීවිතය පරදුවට තැබුවාය.

මුම්බායි ප්‍රහාරය 2008 නොවැම්බර් 26 සවස අවසන් වූයේ නැත. ඒ වෙනුවට තුවක්කුකරුවෝ පුද්ගලයන් රැසක්ම ප්‍රාණ ඇපයට ගෙන දින තුනක් ඉන්දීය ආරක්ෂක අංශ සන්නද්ධව තමන් අවට රඳවා තබා ගත්හ. අවසාන මරණ සංඛ්‍යාව 165 ක් වූ අතර ඉන් ඉන්දීය පුරවැසියන් 140 ක් සහ විදේශීය අමුත්තන් 25 ක් ඇතුළත් විය. තුවක්කුකරුවන් 10 දෙනාගෙන් නව දෙනෙක් ද මිය ගියේය.

10 වැනියා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, මිනීමැරුම් චෝදනාවට වරදකරු කර, වසර හතරකට පසු මරණ දඬුවම ලබා දුන්නේය. මුම්බායි ප්‍රහාරය යනු එම නගරයේ සහ සමස්ත ඉන්දියාවේම ජනතාවගේ මතකයේ ගිලී ගිය ගැඹුරු කම්පන සහගත සිදුවීමකි. මේ අතර, වසර 14 ක් ගතවී ඇතත්, ප්‍රහාරවල අපරාධකරුවන් සහ ඔවුන් පිටුපස සිටියේ කවුරුන්ද යන්න පිළිබඳව පිළිතුරු නොමැති ප්‍රශ්න රාශියක් ඉතිරිව තිබේ(පාකිස්ථානය ප්‍රහාරය පිටුපස සිටින බව තහවුරු වුවත් ප්‍රහාරයේ සැබෑ පරමාර්ථය මෙතෙක් අනාවරණය වී නැත).

පෙරකී ආකාරයට මුම්බායි ඝාතන පිටුපස සුන්නි ඉස්ලාමීය එල්ඊටී සංවිධානයේ සෘජු වගකීම පැවැති බවට සැක සහිත නොවීය. අල්ලා ගත් තුවක්කුකරු අජ්මාල් කසාබ් මෙම සංවිධානයේ සාමාජිකත්වය පිළිගෙන, ඔහු සහ ඔහුගේ සගයන් පාකිස්තානයේ පුහුණුව ලැබූ ක්‍රියාවලිය විස්තරාත්මකව විස්තර කළ අතර, පාකිස්තානයේ සින්ද් පළාතේ අගනුවර වන කරච්චි සිට ප්‍රහාර සඳහා පිටත්වූ බව අනාවරණය කළේය.

ඉන්දියාව සිදුකළ පරීක්ෂණය මගින් ප්‍රහාරයේ වගකීම එල්ඊටී සංවිධානය සතු බව තහවුරු විය. පසුකාලීනව එක්සත් ජනපදයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පකිස්ථානයට එල්ල වූ බලපෑම් හේතුවෙන් පකිස්ථාන භූමියේදී එල්ඊටී සාමාජිකයින් ගණනාවක් අත්අඩංගුවට ගැනිණි. 2009 දී මුම්බායි ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්තානය තමන්ගේම විමර්ශනයේ ප්‍රතිඵල නිකුත් කළ අතර, ප්‍රහාර සඳහා එල්ඊටී සංවිධානයේ වගකීම ද තහවුරු කළේය.

එහෙත් පෙරකී ආකාරයට මුම්බායි ප්‍රහාරය එල්ඊටී සංවිධානය විසින් තනිව සිදුකරන ලද්දක් නොවේ. ඒ වෙනුවට, එල්ඊටී සහ පකිස්ථාන අන්තර් සේවා බුද්ධි සංවිධානය හෝ එම සංවිධානය තුළ ඇති අංග අතර සමීප සම්බන්ධතාවයක් ප්‍රහාරයන්ට පෙර, අතරතුර සහ පසුව පවත්වා ගෙන ගොස් තිබේ. ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ලෙස එක්සත් ජනපදයෙන් බලපෑම් කරන විට සහ ISI ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීම පිළිබඳ පැහැදිලි සාක්ෂි ඉදිරිපත් වෙමින් පවතින විට පකිස්තාන බලධාරීන් විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගය නම්, අයිඑස්අයි තුළ සිටින “තක්කඩි පුද්ගලයන්” වගකිව යුතු බව පවසමින් වගකීමෙන් පලයාමයි.

එමනිසා, අවසාන වශයෙන්, මුම්බායි ප්‍රහාරය සැලසුම් කළේද, සහාය දුන්නේද, මෙහෙයවූයේද, විවාදයේ දෙපැත්තෙන්ම ඉදිරිපත් කරන ලද කරුණුවලට අනුව, ISI තුළම ඇති අංගයන්ද, නැතහොත් ISI විසින්ම සිදු කළේද යන ගැටලුව අදටත් නොවිසඳුණු එකක් ලෙස පවතී.

කෙසේහෝ වේවා කුමන අරමුණකින් සිදුකළද මුම්බායි ප්‍රහාරය යනු ත්‍රස්තවාදය විසින් ලෝක සාමයට එල්ල කළ තවත් මාරු පහරක් විය. අවසානයේ ත්‍රස්තවාදය මනුෂ්‍යත්වයට තර්ජනයක් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් වසර 14කට පසුවත් යළිත් සිහිපත් කළේ එමනිසාය. ඒ මුම්බායි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කරමිනි. කොටසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබියදීත්, මෙම ප්‍රහාරය සැලසුම් කළ සහ අධීක්‍ෂණය කළ අනෙක් ‘සියලුම පුද්ගලයන්ද’ නීතිය හමුවට ගෙන ආ යුතු බවද ඔහු අවධාරණය කර ඇත.

“ත්‍රස්තවාදය මනුෂ්‍යත්වයට තර්ජනයක්., 26/11 වැනිදා, ලෝකයම ඉන්දියාව සමග එක්වී මුම්බායි ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සිහිපත් කරයි. මෙම ප්‍රහාරය සැලසුම් කළ සහ අධීක්‍ෂණය කළ අය නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. ලොව පුරා ත්‍රස්තවාදයට ගොදුරු වූ සෑම කෙනෙකු වෙනුවෙන්ම අප එය කළයුතුයි ”ජයිශංකර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

පසුගිය මාසයේදී, ත්‍රස්ත විරෝධී කමිටුවේ (CTC) ඉන්දියානු සභාපතිත්වය යටතේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSC) දෙදින ත්‍රස්ත විරෝධී රැස්වීමට ඉන්දියාව සත්කාරකත්වය ලබා දුන්නේය. එම රැස්වීමෙන් පසුව, නවදිල්ලිය ප්‍රකාශයක් නිකුත් කරන ලද අතර, එමඟින් ලොව පුරා ත්‍රස්තවාදීන්ට ආරක්ෂිත ස්ථාන වෙත ප්‍රවේශ වීමට ඇති අවස්ථාව අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතු කරුණක් වන අතර, එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවල් ත්‍රස්තවාදයට එරෙහි සටනේදී පූර්ණ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කළේය. ත්‍රස්තවාදයේ සෑම ආකාරයකම පිලිබිඹුවක්ම ගෝලීය සාමයට සහ ආරක්ෂාවට ඇති බරපතලම තර්ජනයන්ගෙන් එකක් බව ද එම ප්‍රකාශය ඔස්සේ පෙන්වාදී ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *