ලසිත් මාලිංග ඉවත් කර ඇන්ජලෝ මැතිවුස්ට නායකත්වය ලබා දීමේ සැලසුමක්?

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායකත්වයේ යළි වෙනසක් සිදුවනු ඇතැයි ක්‍රිකට් ආරංචි පවසනවා. මේ පිළිබද ඉදිරියේදී ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයින්, තේරීම් කමිටුව සහ පුහුණුකරු සමග ක්‍රීඩා අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට නියමිත බව අප වෙත වාර්තා වනවා. දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදී නව නායකයෙකු පත් කිරීමටද අවධානය යොමුවී තිබෙනවා.

කණ්ඩායමේ එකමුතුකම පවත්වාගෙන යා හැකි ක්‍රීඩකයෙකුට එක්දින කණ්ඩායමේ නායකත්වය ලබාදීමට තීරණය වී ඇති බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කියාසිටිනවා. දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන ක්‍රීඩකයා ලෝක කුසලාන තරගාවලියේදීද නායකයා ලෙසද කටයුතු කරන බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කියා සිටියා.

නවසීලන්ත කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ ලසිත් මාලිංගයි. ඔහු සහ තිසර පෙරේරා අතර නායකත්වය සදහා මතගැටුමක් නිර්මාණය වී ඇති බවද ඉකුත්දා වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග සමගද සාකච්ඡා කළා.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය නිමාවීමෙන් පසු තිසර පෙරේරා දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග සමග එකම මේසයක සිට එක්දින නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *