ජූනි මස රුපියල් 5000 දීමනාව ලබා නොදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය (Video)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ආදායම් මාර්ග අහිමි වූ ජනතාව වෙනුවෙන් ලබාදෙන රුපියල් 5,000 දීමනාව ජුනි මාසයේදී ලබාදිය නොහැකි බව රජය පවසයි.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාව විසින් යොමුකර ඇති ලිපියක් ඊට හේතු වූ බවයි.

මැතිවරණ කොමිසම, ජනාධිපති ලේකම්වරයා ඇතුළු ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු වෙත ලිපියක් යොමු කරමින් ප‍්‍රකාශ කර තිබුණේ අපේ‍්‍රල් සහ මැයි මාසවලට ලබාදුන් රුපියල් 5,000 දීමනාව ජුනි මාසයේදීද ලබාදීම දේශපාලන ප‍්‍රවර්ධනයක් වන බවට පැමිණිලි ලැබී ඇති බවයි.

රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ස්වකීය ජන ජීවිතයේ කටයුතු ඉටුකර ගැනීමට හැකියාවක් පවතින්නේ නම් ජුනි මාසයේදී ද එම ආධාරය ලබාදීමේ සැබෑ අවශ්‍යතාවක් තිබේද යන්න සළකා බැලීම අවශ්‍ය වන්නේ යැයි මැතිවරණ කොමිසම දක්වා තිබුණා.

මෙම මූල්‍යාධාර ලබාදීම හරහා කිසිදු දේශපාලන ප‍්‍රවර්ධනයක් සිදු නොවිය යුතු බවට ජනතාව දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කි‍්‍රයා කරන බවද අදාළ ලිපියේ සදහන් වන බව ඔහු සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාද ඊයේ (20) පස්වරුවේ ප‍්‍රකාශ කළේ මැතිවරණ කොමිසමේ ඉල්ලීමට ද කන් දීමට ආණ්ඩුවට සිදුවන බවයි.

You May also like

1 Comment

  1. රට ඉන්න අපේ ගෙවල්වලට හරි දෙනවනම් ලොකු දෙයක් අපිට ගෙවල්වලට මුදල් එවන්න ක්‍රමයක් නැ පඩි ලැබෙන් නැ එන්න විදිහකුත් නැ . මේ ගැන වගකිවයුත්තෝ සොයාබලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *