#NoBra – දකුණු කොරියානු කාන්තාවන් තනපට නොඇඳීමේ හේතුව

දකුණු කොරියාවේ කාන්තාවන්, සිය ඇඳුම්වලට යටින් තනපට නොඅඳින බව දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීමට පටන්ගෙන ඇත.

#NoBra නම්වූ හෑෂ් ටැගයෙන් යුතු එම පළකිරීම් පැතිර යන කාන්තා සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් බවට පත් වෙමින් ඇත.

දකුණු කොරියානු නිළියක මෙන්ම ගායිකාවකද වන සුල්ලි(Sulli), මිලියන ගණනක ග්‍රාහකයින් පිරිසක් සිටින සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි තනපට රහිත තමන්ගේ ඡායාරූප පළකිරීමෙන් අනතුරුව එම අදහස පැතිරීමට පටන්ගෙන තිබේ.

තනපටවලින් තොරවීම පිළිබඳ ව්‍යාපාරයේ නිරත බොහෝ දෙනෙකුට ඇය ‘සංකේතයක්’ වන අතර, තනපට ඇඟලීම හෝ එසේ නොකිරීම “පෞද්ගලික නිදහස” ට අදාළ කාරණයක් යන පණිවිඩය ඉන් ලබා දෙයි.

විශාල වශයෙන් සහයෝගය පළ කෙරෙන පණිවිඩ ලැබෙමින් පවතිද්දී සමාජ මාධ්‍ය ජාලවල සිටින කාන්තාවන් හා පිරිමින් යැයි හැඟෙන පුද්ගලයින් සුල්ලි (Sulli) දෝෂදර්ශනයට ද ලක්කර තිබේ. “අවධානය අපේක්ෂා කරන්නියක්” ලෙස ඇයව හැඳින්වූ ඔවුන්ගේ චෝදනාව වන්නේ ‘ඇය චේතනාන්විතවම හැඟීම් ඇවිස්සීමේ යෙදෙන’ බවකි.

කාන්තා ව්‍යාපාරය සිය ජනප්‍රියත්වය සඳහා ඇය යොදාගන්නා බව ඇතැමෙක් දැඩිව විශ්වාස කරති.

“මට තේරෙනවා, තනපටක් ඇඟලීම ඔබේ කැමැත්තයි. නමුත් තමන්ගේ පියයුරු කැපී පෙනෙන ආකාරයෙන් ඇඟට සිරවූ කමිසවලින් සැරසීගත් පින්තූර ඇය නිතරම පළකරනවා. ඇය එහෙම කරන්න අවශ්‍ය නැහැ” යැයි එක් සමාජ මාධ්‍ය පරිශීලකයකු ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ පළකර තිබිණි.

“තනපට නොඇන්දා කියා අප ඔබට දොස් කියන්නේ නැහැ. අපි කියන්නේ ඔබේ තනපුඩු සඟවාගත යුතුයි” තවත් පළකිරීමක සඳහන් විය.

“ලැජ්ජයි ඔබ ගැන. මේ විදිහට ඔබට දේවස්ථානයට යන්න පුලුවන්ද? ඔබේ සහෝදරියගේ සැමියා හෝ ඔබේ නැන්දනිය හෝ මාමණ්ඩිය මුණගැහෙන්න පුලුවන්ද?” එපමණක් නොව “පිරිමින් විතරක් නෙවෙයි කාන්තාවනුත් අපහසුවට පත්වෙනවා” යයි තවත් පළකිරීම්වල තිබිණි.

මෑතකදී, හ්වාසා(Hwasa)නම් තවත් ප්‍රකට ගායිකාවක් #nobra ව්‍යාපාරය යළි කරළියට ගෙනාවාය.

හොංකොං හි පැවති ප්‍රසංගයක් අවසන් කර ‘සෝල් ‘නගරය වෙත පැමිණෙමින් සිටියදී ඇය සුදු පැහැ ටීෂර්ටයකට යටින් තනපට ඇඟලා නොසිටි ආකාරය දැක්වෙන ඡායාරූප හා වීඩියෝ වේගයෙන් පැතිරෙන්නට විය.

එතැන් සිට ව්‍යාපාරය සාමාන්‍ය කාන්තාවන් අතරත් සැලකිය යුතු ලෙස පැතිර යාමට පටන් ගැනිණි. මෙය, තමන්ට රිසි ලෙස ක්‍රියාකිරීමේ නිදහස දකුණු කොරියානු කාන්තාවන් අපේක්ෂා කිරීමේ හුදෙකලා සිද්ධියක් නොවේ.

2018 දී ද මෙවැනිම පියවරකට එළැඹුණු කාන්තාවෝ සිය දිගු වරලස කපා දමා රූපලාවන්‍ය ආලේපනවලින් තොරව ගමන් බිමන් යාමට පටන් ගත්හ. සිය කැරලිකාර බව පෙන්වීමේ පියවරක් ලෙස මේ තුළින් ලද ප්‍රතිඵල සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීමට ද ඔවුහු පියවර ගත්හ.

මේ ව්‍යාපාරය දියත් කෙරුණේ, දකුණු කොරියානු කාන්තාවන්ට පැය ගණන් ආලේපන හා සම සුරැකෙන දේ යෙදීමට පොළඹවන යථාවත් නොවූ රූපලාවන්‍ය තත්ත්වවලට එරෙහිව ය.

බීබීසී සමග අදහස් පළකළ බොහෝ කාන්තාවන්ගේ අදහස වූයේ මෙම ව්‍යාපාර දෙක අතර සැලකිය යුතු සබඳතාවක් ඇති බවකි. සමාජ මාධ්‍ය හරහා ඒවා පැතිරෙන ආකාරය සලකන විට නව ආරක ක්‍රියාවාදයක (activism) ලකුණු පෙන්වන බව ඔවුහු පවසති.

මෑත වසර කිහිපයක සිට පීතෘමූලිකබව, ලිංගික ප්‍රචණ්ඩත්වය මෙන්ම විවේකාගාර හා අනෙකුත් ප්‍රසිද්ධ ස්ථානවල පිරිමින් “ඔත්තු බලන කැමරා” (spy cam) රහසේ සඟවා තැබීමේ අපරාධමය ක්‍රියාවලට දකුණු කොරියානු කාන්තාවන් සිය විරෝධය පළකරන්නට පටන් ගත්හ.

රහස් කැමරා භාවිත අසැබි දර්ශන හසුකර ගන්නා ලෙස ඉල්ලමින් 2018 වසරේදී කාන්තාවන් දස දහස් ගණන් ‘සෝල්’ නගරයේ වීදි බට අවස්ථාවේදී එරට කාන්තාවන් පමණක් එක්වූ විශාලතම විරෝධතා දක්නට ලැබිණි.

බීබීසී සමග කතා කළ දකුණු කොරියානු කාන්තාවන් බොහෝ දෙනා පැවසුවේ, දැන් තමන් මහත් උභතෝකෝටික ගැටලුවකට මුහුණ දී ඇති බවකි. තනපටින් තොරවීමට තමන් සහය දැක්වුවත් තනපටින් තොරව ප්‍රසිද්ධියේ යාමට තරම් විශ්වාසී බවක් තමන් තුළ නැතැයි ඔවුහු ප්‍රකාශ කළහ. ඊට ප්‍රබල හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ‘බැල්මේ දූෂණය’ (gaze rape) ය. දකුණු කොරියාව තුළ මේ යෙදුමෙන් අදහස් කෙරෙන්නේ යමෙකු ප්‍රචණ්ඩත්වයට ලක්වුවා යැයි හිතෙන තරම් වූ පමණ ඉක්මවා හෙලන බැල්මකි.

විසිඅට (28) හැවිරිදි ජියෝන්ග් සේයෝන්ග්-ඉවුන්, කාන්තාවන් තනපටින් තොරව ගමන් බිමන් යාමේ අත්දැකීම් පිළිබඳව වාර්තා වැඩසටහනක් සැකසූ කණ්ඩායමේ සාමාජිකාවකි.

විශ්ව විද්‍යාලයේ සිය මිතුරන් සමග අදාළ ව්‍යාපෘතිය දියත් කළ තමන් “තනපටක් ඇඟලීම ස්වභාවික යැයි අප හිතන්නේ ඇයි” දැයි ප්‍රශ්න කළ බව සඳහන් කළාය.

මේ ගැටලුව ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමට බොහෝ කාන්තාවන් පෙළඹීම යහපත් දෙයක් යැයි සිතන ඇය, සිය කමිසයෙන් තනපුඩු පෙනීම ගැන බොහොමයක් කාන්තාවන් තවමත් “ලැජ්ජාවන” බව සිතන්නීය.

“තනපටක් ඇඟලීම දකුණු කොරියාව තුළ තවමත් සාමාන්‍ය දෙයක් බව ඔවුන් දන්නවා.ඔවුන් තනපට ඇඟලීමට හේතුව එයයි” ඇය පවසන්නීය.

දකුණු කොරියානු නිරූපිකාවක වන 24 හවිඋරිදි පාර්ක් ඉ – සියුල්, ශරීර ස්වභාව ඇගයීමේ ව්‍යාපාරයේ යෙදෙන්නියකි. ‘සෝල්’ නගරය තුළ දින තුනක් පුරා තනපටකින් තොරව සැරිසරමින් වීඩියෝවක් තැනීමට පසුගිය වසරේදී ඇය තීරණය කළාය.

එම වීඩියෝව අතිශය ජනප්‍රිය විණි.

ඇය පවසන්නේ සිය ග්‍රාහකයින්ගෙන් ඇතැම් දෙනා දැන් සාමාන්‍ය තනපට වෙනුවට මෘදු කුඩා තන ආවරණ (wireless soft cup bralettes) ඇඟලීමට පෙළඹී ඇති බවකි.

“රැහැන්ගත සාමාන්‍ය තනපට ඇඟලන්නේ නැතිනම් පියයුරු එල්ලා වටෙන, අවලස්සන තත්ත්වයකට පත්වේවි යන වැරදි අදහසක් මට තිබුණා. නමුත් වීඩියෝව රූගත කළ තැන ඉඳලා තවදුරත් මම ඒවා අඳින්නේ නැහැ. දැන් ගිම්හාන කාලෙදී කුඩා තන ආවරණයක් අඳින මම සීත කාලෙදී තනපටක් අඳින්නේ නැහැ.” ඇය පවසන්නීය.

මේ ව්‍යාපාරය අගනුවරට පමණක් සුවිශේෂී තත්ත්වයක් නොවේ.

ව්‍යවසායකයකු මෙන්ම දෘශ්‍ය නිර්මාණ ශිෂ්‍යාවක ද වන ‘ඩේගු’ හි වෙසෙන 22 හැවිරිදි ‘නාහ්යුන් ලී’ මේ ව්‍යාපාරයෙන් පොළඹවන ලද තැනැත්තියකි.

කීම්යුන්ග් විශ්ව විද්‍යාලයේ සිය ශාස්ත්‍රපති උපාධි ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් පසුගිය මැයි මාසයේ සිට ඇය ‘යිප්පී’ (Yippee) නමින් කුඩා තනපුඩු මත අලවන අණ්ඩයක් (nipple patch) නිපදවා අලෙවි කරන්නීය.

ගායිකාවක හා නිළියක වන සුල්ලි ගේ මග යමින් ජිඔල්ලනම්-ඩො පළාතේ වෙසෙන 28 හැවිරිදි ඩා-ක්යුන්ග් පවසන්නේ රැකියා කරන ස්ථානයේ සිය ප්‍රධානියා ගැවසෙන විට පමණක් තනපට ඇඟලන තමන් සිය පෙම්වතා සමග ගැවසෙන විට එසේ නොකරන බව පවසන්නීය.

“තනපටක් ඇඟලීම මට අපහසු නම් එහෙම කරන්න එපා කියල මගේ පෙම්වතා කියනවා” ඇය පවසන්නීය.

ඔවුන්ගේ පණිවුඩයෙන් කියවෙන්නේ ‘රිසි බව’ භුක්ති විඳීම සිය අයිතිය වන බවකි. නමුත් තනපටක් නොඇඳීම ගැන පර්යේෂණයෙන් කියවෙන්නේ කුමක් ද?

වෛද්‍ය ඩෙයිද්රේ මක් ඝී යනු වොලොන්ග්ගොන්ග් විශ්ව විද්‍යාලයේ ‘Breast Research Australia’ වැඩසටහනේ සම අධ්‍යක්ෂ හා භෞතචිකිත්සකවරියකි.

“මම හිතන විදිහට රිසි දෙයක් කිරීමේ අයිතිය කාන්තාවන්ට තිබෙනවා. නමුත් ඔබට සැලකිය යුතු තරමේ ප්‍රමාණයකින් යුතු පියයුරු තිබේ නම් එම ප්‍රමාණයට තරම් වන සහයක් නැති විට ඉරියව්වලදී බලපෑමක් වෙනවා. බෙල්ල සහ පසුපස ප්‍රදේශවලට” ඇය පවසන්නීය.

“කාන්තාවන් වයස්ගතවන විට ඔවුන්ගේ ස්වභාවික ශරීර ව්‍යුහය වෙනස්වනවා, සම වෙනස්වනවා වගේම ආධාරක වීමේ මට්ටම ස්වාභාවිකවම පහළ යනවා”

“ආධාරකවලින් තොරව කාන්තාවන් ව්‍යායාමවල යෙදීමෙන් පියයුරු චලනය වෙනවා. ක්‍රීඩාවේ දී ආධාරක තනපට ඇඳීමෙන් පියයුරුවල වේදනාව අඩු කරන අතරම බෙල්ලේ හා පිටුපස වේදනාව ඇතිවීම වළක්වනවා”

“අපේ පර්යේෂණයෙන් පෙනී ගිහින් තිබෙනවා, පියයුරු නැති කාන්තාවන් පවා, උදාහරණයක් හැටියට සැලකුවොත් පියයුරු ඉවත් කිරීමේ සැත්කමකින් පසුවත්, එම ප්‍රදේශය වගේම උර වසා ගැනීමට බොහෝ කාන්තාවන් පෙළඹෙන්නේ පියයුරු අපේ ලිංගික අනන්‍යතාවේ කොටසක් නිසයි.”

“ඒ වගේම, ඔබ අසීරුවට පත්වෙනවානම් හෝ පියයුරුවල පෙනුම හෝ ඒවායෙහි චලනය ගැන දැනුවත් බවකින් යුක්ත නම්, ඔබ ආධාරකයකින් තොර ඉරියව්වකට යාවි. පියයුරු ඉවත් කළ ඇතැම් කාන්තාවන්ට මම කියන්නේ – නිසි ඉරියව්වක හිඳීමට වගේම විශ්වාසය ඇති කරගැනීම සඳහා තනපට ඇඟලන ලෙසයි”

පොස්ට්මත් විශ්ව විද්‍යාලයේ ජීවයාන්ත්‍රණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජෙනී බර්බේජ් පවසන ආකාරයට තනපටක් ඇඟලීම අපහසු හෝ වේදනාකාරී වීමේ හැගීම “නිසිලෙස නොගැලපුණු තනපටකට සම්බන්ධ වී” ඇති බවකි.

“තනපටක් ඇඟලීම හා පියයුරු පිළිකාව අතර සම්බන්ධයක් ඇතැයි තහවුරු කරමින් පළවූ විශ්වාසදායි විද්‍යාත්මක අධ්‍යයනයක් පිළිබඳව අපේ පර්යේෂණ කණ්ඩායම දැනුවත් නැහැ” යැයි ඇය පවසන්නීය.

“තනපට ගිනි තබන කාන්තාවාදියෝ” යන යෙදුමේ මුලාරම්භය 1968 වසරේ ඇමෙරිකානු රූ රැජින පැවැත්වෙද්දී ඉන් පිටත ගෙන ගිය විරෝධතාවකින් පසු පැන නැගුනකි.

එහිදී කාන්තාවන් පීඩනයට පත්කරන්නේයැයි ඔවුන් දුටු තනපට ඇතුළු දෑ කසල බඳුන්වලට සංකේතාත්මකව විසි කළහ. නමුත්, විරෝධයට එක්වූ කාන්තාවෝ සැබවින් ම ඒවාට ගිනි නොතැබූහ.

එතැන් සිට, තනපට ගිනිතැබීම කාන්තාවන්ගේ නිදහස් ව්‍යාපාරය සමග බැඳිණි.

ගෙවී ගිය ජුනි මාසයේදී සිය සේවා කටයුතුවලින් බැහැරව මාර්ගයට පිවිසි ස්විට්සර්ලන්තයේ කාන්තාවන් දහස් ගණනක්, සාධාරණ වැටුප්, සමානාත්මතාව මෙන්ම ලිංගික අඩන්තේට්ටම් හා ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙස ඉල්ලා තනපට ගිනි තබමින් ද, රථවාහන ධාවනයට බාධා පමුණුවමින් ද උද්ඝෝෂණයේ යෙදුණහ.

ඔක්තෝබර් 13 වෙනිදා තනපටින් තොර දිනය ලෙස හැඳින්වීම ඇරඹුණේ පියයුරු පිළිකා පිළිබඳ ලොව පුරා අවබෝධය නැංවීමේ පියවරක් ලෙසිනි. නමුත් පිලිපීනයේ කාන්තාවන් විසින් පසුගිය වසරේ අදාළ දිනය වෙන්කරනු ලැබුවේ පුළුල් ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවක් ඉල්ලීම සඳහාය.

තනපටින් තොර දිනයෙන් “කාන්තාවාදය මෙන්ම කාන්තාවන් ලෙස අප කවුදැයි යන්න ඇගයීම ස්ථිරව ප්‍රකාශ කෙරෙනවා” යැයි ජනමාධ්‍යවේදිනියක වන වැනේසා අල්මේදා සඳහන් කළාය.

“කාන්තාවන් වහල් බවක රඳවා ඇත්තේ කෙසේද යන්න තනපටින් සංකේතවත් කෙරෙනවා” ඇය කීවාය.

පුරුෂයන්ගේ හා කාන්තාවන්ගේ තනපුඩු නිරාවරණය කිරීමේදී අනුගමනය කෙරෙන දෙබිඩි පිළිවෙත් පෙන්වා දෙමින් මෑත වසරවලදී ක්‍රියාකාරීහු තවත් පියවරක් ඉදිරියට ගියහ.

කාන්තා පියයුරු සාපරාධී හා වාරණය කිරීමට එරෙහි තරුණ කාන්තාවන් පිරිසක් නිව් යෝර්ක් නගරයේ ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරයක් පසුබිම්කරගත් ‘Free the Nipple’ (තනපුඩුව නිදහස් කරනු) නම් වූ වාර්තාමය වැඩසටහන නෙට්ෆ්ලික්ස් (Netflix) නාලිකාව විසින් 2014 දෙසැම්බර් මාසයේදී නිකුත් කරනු ලැබිණි.

මෙය “Free the Nipple” (තනපුඩුව නිදහස් කරනු) නම් වූ ව්‍යාපාරය ගෝලීය සංසිද්ධියක් වීමේ මුලාරම්භය විය.

මෑතක දකුණු කොරියාවේ ගෙනගිය වැඩපිළිවෙල, කාන්තා සිරුර සම්බන්ධයෙන් පවතින තහංචි පිළිබඳ ලෝක ව්‍යාප්තව ඉහළ ගොස් ඇති අවධානය පෙන්වන්නකි. මීට එක්වූ කාන්තාවන් දෝෂ දර්ශනයට ලක්වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ සංස්කෘතික අපේක්ෂා මත පදනම්ව මේ අභියෝගයට දකුණු කොරියාව තුළ එල්ලවන ප්‍රතිරෝධය වේ.

එසේවුවත්, එරට සිටින බොහෝ කාන්තාවන්ට මෙය “පෞද්ගලික නිදහස” පිළිබඳ මූලික කරුණකි.

මෙසේ උත්සන්න වෙමින් පවතින මේ වැඩපිලිවෙලින් පෙන්නුම් කෙරෙන්නේ, තන්පටින් තොරවීම ප්‍රශ්නයක් නොවන තෙක් බොහෝ දකුණු කොරියානු කාන්තාවන් ‘හෑෂ් ටැගය’ භාවිත කිරීමේ තත්ත්වය අඩු නොවන බවකි.

Source – BBC Sinhala

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *