විෂය භාර ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය විසින් එවන ලද ලැයිස්තුවක් මත සේවකයන් 1707 ක් කොන්ත්‍රාත් පදනමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවය සඳහා බඳවා ගෙන ඇති බව එහි පාලනාධිකාරිය ඊයේ (04 වැනිදා) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවේදී ප්‍රකාශ කළේය.
ඒ අතරේ 2017 වසරේදී එවැනි සේවකයන් 104 ක් ද, 2018 වසරේදී සේවකයන් 36 ක් ද, 2019 වසරේදී සේවකයන් 250 ක් ද බඳවා ගෙන ඇති බවත් ඔවුහු ප්‍රකාශ කර සිටියහ.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව සඳහා මේ ආකාරයට සේවකයන් බඳවා ගැනීමේ ක්‍රමවේදය වහා නතර කර විධිමත් වැඩපිළිවෙළක් මාස දෙකක් ඇතුළත සකස් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්. එච්. එස්. සමරතුංග මහතාට නියෝග කළේය.
එම වැඩපිළිවෙළ විගණකාධිපතිවරයාටත්, මුදල් අමාත්‍යාංශයටත්, කෝප් කමිටුව හමුවටත් ඉදිරිපත් කරන ලෙස ද සභාපතිවරයා එහිදී පාලනාධිකාරියට නියෝග කළේය.
එම ක්‍රමවේදය අනෙකුත් සමාන ක්ෂේත්රයන්ට ගැළපෙන ආකාරයට සකස් කරන ලෙසත්, බැංකුවට සේවකයන් බඳවා ගැනීමේ ක්‍රමවේදය කුමක්ද යන්න පිළිබඳව රටම විමසිල්ලෙන් සිටින බවත් හඳුන්නෙත්ති මහතා කීය.
බැංකුවේ අභ්‍යන්තර වංචාවන්ගෙන් ලැබිය යුතු ශේෂය 2018.12.31 වැනිදාට රුපියල් මිලියන 110 ක් බවත් කෝප් කමිටුව හමුවේදී හෙළිවිණි.
එම වංචාවන්ට සම්බන්ධ ප්‍රධානියා මේ වන විට රිමාන්ඞ් බන්ධනාගාරගත කර සිටින බවත්, ඔහුට මෙන්ම ඒවාට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන්ට එරෙහිවත් විනය ක්‍රියාමාර්ග ගෙන දඬුවම් ලබා දී ඇති බවත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර සිටියේය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා එහි සාමාජිකයන් වන දයාසිරි ජයසේකර, මහින්දානන්ද අලූත්ගමගේ, රවීන්ද්‍ර සමරවීර, ජයන්ත සමරවීර හා හර්ෂ ද සිල්වා යන ඇමැතිවරු සහ මන්ත්‍රීවරු සහභාගි වී සිටියහ.