බම්බලපිටියේදී OIC යට කළ පිරිස සිද්ධිය වහන්න ජරාව දෙන්න හදයි – OICගේ පුතා සියල්ල එපා කියයි

අවාසනාවන්ත ලෙස බම්බලපිටියේදී රිය අනතුරට ලක් කළ බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ පවුලේ පිරිස පසුපස පැමිණෙමින් මුදල් දී සිද්ධිය වසා දැමීමට තැත් කරන පිරිසක් පිළිබඳව වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් ගමන් කළ වාහනයකින් මෙම නිලධාරියාව අනතුරට ලක් කරනු ලැබුවේ පසුගිය දා බම්බලපිටිය ප්‍රදේශයේදීයි.

අනතුරට ලක්වූ පොලිස් නිලධාරියාගේ වැඩිමහල් පුතු අශාන් සරත්චන්ද්‍ර වත්මන් තත්ත්වය පිළිබඳ මෙසේ පවසනවා.

“වෛද්‍යවරු තවම තාත්තගෙ තත්ත්වය ගැන නිශ්චිතවම කිසිවක් කියන්නෙ නැහැ. තාත්තගේ මුළු ඇඟේම තුවාල. කකුල් දෙකම කැඩිලා.

උකුල් ඇටය පුපුරලා. ඒ වාහනය ඇඟ උඩින් ගිය නිසා. මූණට බරපතළ හානිවෙලා. හිසට ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා. ඒක තමයි තියෙන බරපතළම හානිය.

වෛද්‍යවරු කියන්නෙ තාත්තගෙ මොළේට ලේ බහිනවා කියලයි. ඒක නිසා මොළේ ලොකු වෙන ප්‍රමාණයට ඔළු කට්ට කපන්න ඕනැලු. නමුත් ඒක දැම්මම කරන්න බැරි තාත්තා බයිපාස් කරපු නිසා රුධිරය තුනී වෙන්න බෙහෙත් බීපු නිසා. ඒ බෙහෙත්වල පවර් එක දින ගණනාවක්ම ඇඟේ තියෙනවාලු.

තාත්තා නිතරම අපේ අනාගතය ගැනයි හිතුවේ, අපි බොරලැස්ගමුවේ කුලියට ඉන්නෙ. එදා පාන්දර රාජකාරියට යෑමට සැරැසෙද්දීත් මට කීවේ, අපටම කියලා ඉක්මනින්ම ගෙයක් හදාගන්න ඕනෙයි කියලයි.

ඇත්තටම මං අහන්නෙ පොලිස් නිල ඇඳුමක් ඇඳ රාජකාරියකට යන අයකුට මෙහෙම වුණානම් සාමාන්‍ය කෙනෙකුට කොහොම වෙයිද? තාත්තට මේ අනතුර සිදුකළ අයගේ පිරිස ඇවිත් අපිට උදවු කරන්න අහනවා. ඒත් මම ඒවා ප්‍රතික්ෂේප කළා.”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *