වාහන වර්ග හතරක හැර අනෙකුත් සියලු වාහනවල සවිකර තිබෙන විවිධ නාද රටා සහිත නළා, විවිධ වර්ණවලින් යුත් විදුලි බුබුළු හා අධික ශබ්දය සහිත කැසට් රේඩියෝ ජුනි 30 වැනිදා වනවිට ගලවා ඉවත් කළ යුතු බව මාර්ග ආරක්ෂාව හා රථවාහන පොලිස් දිසාව සඳහන් කරනවා.
මෙම නීතිය උල්ලංඝනය කරන රියැදුරන්ට හා වාහන හිමියන්ට ජූලි පළමුවැනිදා සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද එම දිසාවේ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා කියා සිටියා.
මෙම නීතිය ඩිෆෙන්ඩර් රථ ඇතුළුව දේශපාලනඥයන් ගමන් ගන්නා වාහනවලටද අදාළ බවත්, නීතිය උල්ලංඝනය කළහොත් ජූලි පළමුවැනිදායින් පසු රථය පොලිස් භාරයට ගෙන රියැදුරුට සේම වාහනයේ හිමිකරුටද නඩු පවරන බවත් හෙතෙම පවසා සිටියා.
ගිලන්රථ, ආපදා රථ, පොලිස් රේඩියෝ කාර් රථ හා ගිනිනිවීමේ රථවලට විවිධ වර්ණ රටා සහිත විදුලි බුබුළු නීතිය හෝ නාද රටා සහිත නළා නීතිය අදාළ නොවන බවද ඒ මහතා පවසනවා.
අධික ශබ්දය හේතුවෙන් වාහනයේ ගමන් ගන්නා අයෙකුට හෝ පදිකයෙකුට හානියක් සිදු වුවහොත් අදාළ නළාව සවිකිරීමට අදාළ දඩමුදලට අමතරව ජනතාවට වන්දි ගෙවීමට සිදුවන බවද ඔහු සඳහන් කර සිටියා.
ජූලි පළමුවැනිදායින් පසුද මේවා අදාළ රථවාහනවල තිබේ නම්, ඒ පිළිබඳ පැමිණිලි කිරීමට 011-4333333 දුරකථන අංකය ජනතාවට විවෘත කර තිබෙන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළා.
නාද රටා සහිත නළා ඉවත් කිරීමෙන් පසු තනි නාද රටා සහිත නළා තිබිය හැකි ඩෙසිබල් ප්‍රමාණය පිළිබඳ නීතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද ඒ මහතා පවසනවා.
ශබ්දය මැන බැලීමේ යන්ත්‍ර දෙසියයක් පොලිස් ස්ථාන වෙත ලබාදීමට සැලසුම් කර තිබෙන බවත්, විවිධ නාද රටා සහිත නළා හේතුවෙන් අනතුරක් සිදු වුවහොත් දඩ මුදල්වලට අමතරව සිරදඬුවම් පවා ලබාදීමට හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.