කුමන සිටින දිවියාගේ පහරදීමෙන් හෙළිවන සුවිශේෂී කරුණු රැසක්

කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියෙකුගේ පහර දීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම සුළු කොට තැකිය නොහැකි බව සත්ත්වේදීන් පවසනවා.

පරිසරවේදීන් සහ සත්ත්වේදීන් පෙන්වා දෙන්නේ අදාළ දිවියා දෙවනවරටත් දරුණු ප්‍රහාරයක් එල්ලකර ඇති බැවින් එම දිවියා පිළිබඳ නිසි විමර්ශනයක් සිදුනොකළහොත් කලාපයේ සංචාරක කර්මාන්තයටද දැඩි බලපෑමක් වියහැකි බවයි.

කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියෙකු ඩැහැගෙන යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 18 වැනිදායි.

පසුව දිවියාගේ පහර කෑමට ලක්වූ පුද්ගලයා සොයා පැමිණි සෆාරි ජීප් රථයේ රියැදුරෙකුද දිවියාගේ පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලැබුවා.

පහරදුන් දිවියා බාගුරේ – බඹරගස්තලාව ප්‍රදේශයේ තවදුරටත් සැරිසරන බැවින් එම ප්‍රදේශය සංචාරකයින් සඳහා තවදුරටත් තහනම් කලාපයක් බවට පත්කර තිබෙනවා.

පසුගිය 18 වැනිදා කුමන ජාතික වනෝද්‍යානයේ මෙම පහරදීම සිදුකර තිබුණේ පැන්තරා පාඩස් කොටියා නමින් හඳුන්වන දිවි විශේෂයට අයත් දිවියෙක්.

කුමන ජාතික වනෝද්‍යානයේ දත්ත වලට අනුව මේ වන විට එම වනෝද්‍යානය තුළ දිවියන් 30ත් 40ත් අතර ප්‍රමාණයක් සිටිනවා.

දිවියා පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ සෙල්වදොරේ රවීචන්ද්‍රන්ගේ දේහය ඊයේ පස්වරුවේ පොතුවිල් සංගමන්කන්ද ප්‍රදේශයේ සිය නිවසට රැගෙනවිත් තුබුණා.

දිවියගේ පහරකෑමෙන් තුවාල ලබා මේවන විට අම්පාර මහ රෝහලේ ප්‍රතිකාර ලබන චමීර සම්පත් අබේසිංහ නම් මොනරාගල – දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රමේෂ් නානායක්කාර මහතා පැවසුවේ දිවියාගේ පහරදීමෙන් ඔහුගේ ශ්වාසනාලයට දැඩි හානි සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් දිවියන් මිනිසුන්ට පහර දීමක් සිදු කරන්නේ යම් විශේෂ කාරණයක් හේතුවෙන් පමණක් බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

සාමාන්‍යයෙන් දිවියන් ආරක්ෂාව සඳහා මිනිසුන්ට පහර දෙන්නේ නම් අතක් හෝ කකුලක් සපා කෑමකට ලක්කරන බවත් නැතිනම් පිට ප්‍රදේශය සූරාකෑමකට ලක්කරන බවත් සඳහන් කළා.

මෙහිදී පහරදීම් දෙකක් ඝෘජුව සිදුව ඇති බවත් මිනිසුන්ට පහරදීම ගැන හුරු දිවියෙකු මෙම පහරදීම සිදුකර ඇති බවට මෙම දෙවන පහරදීමෙන් පැහැදිළි වන බවද සඳහන් කරනවා.

දෙවන පරහදීම සිදුව ඇත්තේ සිටගෙන සිටි පුද්ගලයාගේ උගුරුදණ්ඩ ප්‍රදේශයට ඝෘජුව පැන සපා කෑමෙන්.

මෙය ඉතාමත් භයානක හැසිරීමක් බවත් සඳහන් කළා.

මෙම දිවියා සාමාන්‍ය මනුෂ්‍යයෙක් මෙන් දස ගුණයක් ශක්තිමත් බවත් තමන්ගේ බර මෙන් හය ගුණයක් බර දෙයක් සමග ගසක් උඩට පවා නැග ගත හැකි බවත් සඳහන් කළා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *