ඇමැතිවරුන් නොමැතිවීම නිසා අද පාර්ලිමේන්තුව විනාඩි 50යි

සභාව පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂයේ ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් පිරිසක් නොමැතිවීම නිසා අද පාර්ලිමේන්තුවේ වැඩකටයුතු මිනිත්තු 50 කට පමණක් සීමා වුණා.

ඒ අනුව කතානායකවරයා තීරණය කළේ පාර්ලිමේන්තුව මේ මස 17 වැනිදා දක්වා කල් තැබීමටයි. අද උදෑසන සභාව ආරම්භයේදීම ඊයේ දිනයේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා අමාත්‍යවරුන් නොමැතිවීම පිළිබඳව පළ වූ මාධ්‍ය වාර්තා ගැන කතානායකවරයා සභාවේ අවධානය යොමු කළා.

ඔහු එහිදී සඳහන් කළේ තමන්ද ඒ සම්බන්ධයෙන් බරපතල ලෙස කණගාටුවන බවයි.

මේ අතර, පාර්ලිමේන්තුවේ ආහාර වේල වෙනස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු අද කතානායක කරූ ජයසූරියගෙන් ඉල්ලා සිටියා.

ඒ, එම කෑම වේලා ඒකාකාරී බව පවසමින්. මේ සම්බන්ධයෙන් අද මාධ්‍ය වාර්තා පළකර තිබූ නිසා තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැඩි අපහසුතාවට පත්වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ප්‍රකාශ කළේ.

මේ අතර, පනත් කෙටුම්පත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිව ඉදිරිපත් කර ඡුන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදත් සිය විරෝධය පළ කළා.

එහිදී ඊයේ දිනයේ අපනයන සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පතේ නියෝගයන් සම්බන්ධයෙන් සහ අද දිනයේ ඉදිරිපත් වූ මුදල් පනතට අදාළව විදේශීය වාණිජ ගණුදෙනු අය බද්දක් පැනවීම සඳහා වූ සංශෝධිත පනත් කෙටුම්පතද ඉල්ලා අස්කර ගන්නා ලෙසයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *