ඔළුවට වෙඩි තබාගත් කොස්‌තාපල්ගේ විවාහක පෙම්වතියගෙන් ප්‍රකාශයක්‌; වෙඩි තියාගෙන ඇත්තේ පෙම්වතිය ඉදිරියේමලු!

මහරගම පොලිස්‌ ස්‌ථානය තුළදී පොලිස්‌ කොස්‌තාපල්වරයකු සිය රාජකාරි රිවෝල්වරයෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය බව කියන විවාහක කාන්තාවගෙන් ප්‍රකාශයක්‌ ලබා ගත් බව මහරගම පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ ඊයේ (01 වැනිදා) පැවැසීය.

බත්තරමුල්ල පදිංචි 34 හැවිරිදි විවාහක කාන්තාවගෙන් පොලිසිය තුළදී අදාළ ප්‍රකාශය ලබාගත් බව ද එම නිලධාරියා කියා සිටියේය.

පෙරේදා (28 වැනිදා) පෙරවරු 9.45 ට පමණ මහරගම පොලිසියේ ආපන ශාලාව පිටුපස ඇති ස්‌ථානයකදී වෙඩි තබාගෙන දිවිනසාගෙන තිබුණේ මහරගම පොලිසියේ රථවාහන විමර්ශන අංශයට අනුයුක්‌තව රාජකාරි කරමින් සිටි අනුරාධපුර, තලාව පදිංචිව සිටි ඩී. එම්. මනෝඡ් දිසානායක (84370) නමැති පොලිස්‌ කොස්‌තාපල්වරයාය.

මෙම පොලිස්‌ කොස්‌තාපල්වරයා සිය පෙම්වතිය (විවාහක කාන්තාව) ඉදිරිපිටදී වෙඩි තබාගෙන ඇතැයි ද පොලිසිය කියයි.

මෙම විවාහක කාන්තාව මහරගම පොලිස්‌ ස්‌ථානයට පෙරේදා (28 දා) පැමිණ ඇත්තේ පොලිස්‌ කොස්‌තාපල්වරයා තවත් කාන්තාවක සමග ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වන බවට චෝදනා කරමිනි. අනතුරුව ඔවුන් දෙදෙනා ආපන ශාලාව පිටුපස දෙසට ගොස්‌ එකිනෙකාට චෝදනා කර ගනිමින්, ඔවුන් දෙදෙනා බහින්බස්‌ වී තිබේ. පසුව එය දෙදෙනා අතරේ ගැටුමක්‌ දක්‌වා වර්ධනය වී ඇත. ඉන් අනතුරුව ඔහු සතුව තිබු රිවෝල්වරයෙන් වෙඩි තබාගෙන ඇතැයි හෙළි වූ බව ද පොලිසිය පවසයි.

මීට වසරකට ඉහතදී මෙම පොලිස්‌ කොස්‌තාපල්වරයා තලංගම පොලිසියට අනුයුක්‌තව සේවය කරමින් සිට ඇත. එසේ සිටියදී බත්තරමුල්ල තලාහේන පදිංචි මෙම විවාහක කාන්තාව දැන හඳුනාගෙන අනියම් සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

අනතුරුව ඔහු මහරගම පොලිසියට මාරුවීමක්‌ ලබාගෙන ඇත.

මෙම බත්තරමුල්ල පදිංචි කාන්තාවගේ සැමියා මත්කුඩුවලට ඇබ්බැහි වී සිටීම හේතුවෙන් දැනට ඔහු බූස්‌ස කඳවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටින බව හෙළිවිණැයි ද පොලිසිය කියයි.

පොලිස්‌ කොස්‌තාපල්වරයා දිවි නසාගත් ස්‌ථානයට පැමිණි නුගේගොඩ වැඩ බලන මහෙස්‌ත්‍රාත් සුනීතා නානායක්‌කාර මහත්මිය මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වූවාය.

දිවි නසාගත් පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (01 වැනිදා) කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝaහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී සිදුකෙරිණි.

බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ මහරගම පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ටී. එස්‌. මීඩින් මහතාගේ උපදෙස්‌ මත නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පොලිස්‌ පරීක්‍ෂණ සිදුකරති.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *