පාකිස්තාන සංචාරයට යන්න ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් 10 ක් බෑ කියලා. තිරිමාන්න එක්දින නායකයා, විස්සයි විස්ස නායකයා දසුන්

එක්දින සහ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් 10 දෙනෙක් එළැඹෙන 27 වැනිදා ආරම්භ වීමට නියමිත පාකිස්තාන සංචාරයෙන් ඉවත් වීමට තීරණය කොට තිබේ. ඔවුන් සියලු දෙනාම පෞද්ගලික හේතුවක් මත මෙම තරගාවලියෙන් ඉවත්වන බව දන්වා ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ. අදාළ තරගාවලිය සඳහා එක්දින සහ විස්සයි විස්ස තරග තුන බැගින් ඇතුළත් වන අතර එසේ කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කළ සෙසු ක්‍රීඩකයින් අතර ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, තිසර පෙරේරා, අකිල ධනංජය, ධනංජය ද සිල්වා මෙන්ම සුරංග ලක්මාල් යන ක්‍රීඩකයෝ වෙති.

ඒ අනුව ළහිරු තිරිමාන්න එක්දින නායකයා වශයෙනුත්, විස්සයි විස්ස නායකයා වශයෙන් දසුන් ශානකත් සංචාරය සඳහා එක්වීමට නියම කර ඇත.
මීට ඉහතදී 2017 වසරේ පාකිස්තානයේ පැවැති විස්සයි විස්ස තරගයක් සඳහා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් රාශියක් සහභාගි නොවීම හේතුවෙන් එම තරගය සඳහා තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් පිටත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණි.

2009 වසරේ ලාහෝර්හිදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පූර්ණ තරගාවලියක් සඳහා පාකිස්තානයට යන පළමු අවස්ථාව මෙය වේ. මීට ඉහතදී පාකිස්තාන සංචාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා සහ හිටපු ගුවන් හමුදාපතිවරයෙකු සේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක උපදේශක රොෂාන් ගුණතිලක ඇතුළු සිව්දෙනෙක් ලාහෝර්, කරච්චි සහ ඉස්ලාමාබාද් ප්‍රදේශයන්හි ආරක්ෂක තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා ඉකුත් දා පාකිස්තාන සංචාරයකද නිරතව සිටියේය.

තරගාවලියට අයත් ටෙස්ට් තරග දෙක පාකිස්තානයේ පැවැත්වීමට මුලින් යෝජනා වී තිබුණත්, වැඩි කාලයක් පාකිස්තානයේ ගත කිරීම අවදානම් බැවින් එක්දින සහ විස්සයි විස්ස තරග පමණක් එහි පැවැත්වීමට කටයුතු කළ බවට වරෙක ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේය.

27 වැනිදා ආරම්භ වන අදාළ එක්දින තරගාවලියේ දෙවැනි තරගය 29 වැනිදාත්, තුන්වැනි තරගය ඔක්තෝබර් 2 දාත් පැවැත්වෙන අතර එකී සියලු තරග කරච්චිහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ලාහෝර්හිදී පැවැත්වෙන විස්සයි විස්ස තරග තුන පිළිවෙළින් ඔක්තෝබර් 5, 7 සහ 9 යන දිනයන්හිදී පැවැත්වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *