පොල්හේන වෙරළ තීරයේ ඇති නවාතැන් පොළක පොලිසිය විසින් සිදුකළ වැටලීමකින් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට රංගන ශිල්පිණිය එහි පැමිණ ඇත්තේ සංගීත ප්‍රසංගයකට යන මුවාවෙන් බවට මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසනවා.
ඇයගේ මිතුරියන් දෙදෙනකුද උසස් පෙළ පන්තියේ සිසුවෙකු ද රැගෙන මෙම සාදයට එක්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙම පිරිස සමග සිටි 17 දෙනෙකු පසුගිය දා රක්ෂිත බන්ධනාගාරගත ගත කරන ලද අතර ඉන් 16 දෙනෙකු ඊයේ (8) අධිකරණය විසින් ඇප මත නිදහස් කළා.
මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජී.එච්. මාරපන මහතාගේ පොලිස් බුද්ධි අංශ මඟින් පසුගිය තුන්වැනිදා වැලිගම ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ සමාජ ශාලාවක මෙවැනි සාදයක් පවත්වන බවට ලද තොරතුරු මත මෙම මෙහෙයුමේ වගකීම පවරා තිබුණේ මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.වී. උදිත කුමාර නිලධාරියා වෙතයි.
මෙහෙයුම ආරම්භ කරන විටත් සාදය වහා අවසන් කර ඔවුන් ළඟම පිහිටි නවාතැන්පොළ වෙත ගොස් සිටි අතර පොල්හේන වෙරළ තීරයේ ඇති නවාතැන් පොළක් පොලිසිය විසින් වටලනු ලැබුවේ ඉන් අනතුරුවයි.
එම නවාතැන්පොළේ අනුමාන කළ කාමරයට ළංවීමත් සමඟ පොඩි කාමර දෙකක් තුළ විශාල පිරිසක් සිටින බවට පොලිසියට තේරුම් ගොස් ඇති අතර දොර විවෘත කළ විට දුටු දර්ශනය දැකීමෙන් පොලිසිය ගල් ගැසී ගියේ කිසිවක් සිතාගත නොහැකිවය.
ඒ තරුණියන් තිදෙනකු සහ විශාල තරුණයන් පිරිසක් එම කාමරයේ සිටිනු දැකීමෙනි.
ඔවුන් මේ සැරසෙන්නේ වෙන කුමකටවත් නොව විස මත්ද්‍රව්‍ය භාවිත කිරීමට බව සැලවීමත් සමඟ ඔවුන් එක එකා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
මලානිකව ඒ මේ අත ඇද වැටෙමින් සිටි තරුණයන් දහහතර දෙනෙක් මැද තරුණියන් තිදෙනෙක්ද සිටි අතර ඒ අතර නිතර නිතර රාත්‍රි පුංචි තිරයෙන් දකින රංගන ශිල්පිනියක්ද එහි සිටිනු දැක පොලිස් නිලධාරීන්ද විමතියට පත්ව තිබෙනවා.
මෙම සාදය සඳහා තරුණ තරුණියන් 1600කට අධික පිරිසක් සහභාගි වී ඇති අතර එක් අයකුගෙන් රුපියල් හාරදහසක මුදලක් ලබාගෙන ඇති බවට පොලිසියට තොරතුරු ලැබෙමින් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.