රත්නජීවන් හූල් පසුපස පොලිසිය පන්නයි

ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් සම්බන්ධයෙන් යාපනයේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ඔහු රටේ සාමාන්‍ය ජනතාවට බලපාන නීති හා නිරෝධායන නීති උල්ලංඝනය කර ඇත්දැයි යන්න පිළිබඳව මෙම විමර්ශන සිදු කෙරෙමින් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.

මහා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණ දින 14ක කාලයක් නිරෝධායනයට ලක් වෙමින් සිටි මහාචාර්ය හූල්ගේ දියණිය තවත් දින 14ක් නිවෙසේදී නිරෝධායනයට ලක්විය යුතුව තිබියදී ඇයද සමඟ මැයි 18 හා 19 යන දෙදිනම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීම ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් සිද්ධියක් බවට පත්ව තිබුණා.

ඒ හේතුව නිසා මේවන විට මැතිවරණ කොමිෂන් සභාවේ සේවයේ නියුතු රියැදුරකු හා තවත් අයකු නිරෝධායනයට ලක් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම මහාචාර්ය හූල් මැයි මස 17 වැනිදා ඉරිදා යාපනය සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ WP PF 7802 දරන කළු පැහැති මිට්සුබිෂී ඩබල් කැබ් නිල රථය අවභාවිත කරමින් තම පුත්‍රයා යාපනයේ සිට රැගෙන ඒමට ඇඳිරි නීති බලපත්‍රයක් ලබා නොගෙන කොළඹට පැමිණියේ කෙසේදැයි යන්න පිළිබඳවද මෙහිදී විමර්ශනයට ලක් කෙරෙන බවද ඉහත ආරංචි මාර්ග සඳහන් කරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *