නිවෙස හැර යමින් සිටියදී රයන්ගේ මව පියා සමග නංගී ජීවත්වූ නිවස දැඩි පොලිස් පරීක්ෂාවට

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ බන්ධනාගාරගතව සිටින ටෙලිනළු රයන් වැන්රෝයන්ගේ නැඟණිය, සැමියා, දරුවා, මව හා පියා පදිංචිව සිටි පානදුර පරන්ත ‍ෙදාළේවත්ත පාර නිවෙසේ පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත පරීක්‍ෂා කිරීමට පානදුර උතුර පොලිසියේ නිලධාරීහු පෙරේදා (5දා) පියවර ගත්හ.

අදාළ සෝදිසි වරෙන්තුව රැගෙන පානදුර උතුර පොලිසියේ නිලධාරීන් එම නිවෙස වෙත යන අවස්ථාවේදී රයන් වැන්රෝයන්ගේ නැඟණිය ඇතුළු පවුලේ අය එම නිවෙස හැර යෑම සඳහා ලොරියකට නිවෙසේ ගෘහ භාණ්ඩ පටවමින් සිටි බව පොලිසිය කියයි.

පානදුර උතුර පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්.එස්. බන්දුල මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් එම නිවෙස වෙත ගොස් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුව ඉදිරිපත් කර නිවෙස දැඩි පරීක්‍ෂාවට ලක් කර අනතුරුව ලොරියට දමා තිබූ බඩු බාහිරාදිය ද එකින් එක බිමට ගෙන දැඩි සෝදිසියට ලක් කිරීමට පියවර ගත්හ.

එනමුත් කිසිදු සැකකටයුතු දෙයක් හමු නොවීය. අන්තර්ජාලයේ පළකරන ලද දැන්වීමක් අනුව රයන්ගේ සහෝදරියට නිවෙස කුලී පදනම මත ලබා දුන් බව ඔහු කළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ. ටෙලි නාට්‍ය නළු රයන්ගේ සහෝදරිය හා සැමියා කුලී නිවෙසින් බැහැරව බඩු බාහිරාදිය රැගෙන යෑම සඳහා යොදාගෙන තිබුණේ වී.අයි.පී. යනුවෙන් ස්ටිකරයක් ප්‍රදර්ශනය කරන ලද ලොරියකින් බවත් එයද සැකයට තුඩු දෙන කාරණයක් බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් ලොරියේ ප්‍රදර්ශනය කරන ලද ස්ටිකරය ඒ මොහොතේම ගලවා දැමීමට පියවර ගැනිණි. නිරතුරුවම රාත්‍රි කාලයට සුඛෝපභෝගි මෝටර් රථ මෙහි පැමිණෙන බවත් විදුලි පහන් නිවා දමා උඩු මහලේ (බැල්කනියේ) සාකච්ඡා පවත්වන අයුරු දුටු බව අසල්වාසීන් පැවැසූ බව සෝදිසි වරෙන්තුවට එක් වූ නිලධාරීන් හා එම අසල්වාසීන් පවසා තිබිණි.

රුපියල් කෝටි හත්සියයක් පමණ වටිනා දකුණු අප්‍රිකානු නිල් දියමන්තිය සමඟ පාතාල නායක මාකඳුරේ මධුෂ් නමැත්තාගේ සමීපතමයකු වන කැළුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා පොලිස් අත්අඩංගුවට පත් වීමත් සමඟ රයන්ගේ සහෝදරිය ඇතුළු පවුලේ අය හිටි හැටියේ නිවෙස් හැර යෑමට සූදානම් වීම පිටුපස දැඩි සැකයක් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පානදුර උතුර පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්.එස්. බන්දුල මහතා රයන් වැන්රෝයන් නමැත්තාගේ නැඟණියගෙන් පැයකට අධික කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කර ගත්තේය.

පානදුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේරත්න, පානදුර උතුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රභාත් පරණවිතාන – පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්.එන්. බන්දුල, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක කේ.ජී. පත්මිණි මහත්ම මහත්මීහු ඇතුළු පොලිස් නිලධාරීන් දස දෙනකු පමණ මෙම අවස්ථාවට සහභාගි විය.

– එම්.සී. පෙරේරා –

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *