කල්මුණේ ට දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය – සාක්ෂි රැසක් හමුවේ

කල්මුණේ, චවලකඩේ, සමන්තුරේ යන ප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මකවන පරිදි දැන් සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

සමන්තුරේ ප්‍රදේශයේ යුධ හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අද (25) සවස සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය, ඩෙටනේටර්, යකඩ බෝල ලක්ෂයක්, සැකකටයුතු වෑන් රථයක්, ඉස්ලාමිය අන්තවාදීන්ට අයත් බව කියන ධජයක්, ඔවුන්ගේ නිළ ඇඳුම්, ඩ්‍රෝන් කැමරා ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගෙන ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටියා.

සයින්දමාරු ප්‍රදේශයේදී සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගෙන ඇතැයි ද වාර්තා වෙනවා.

එම ප්‍රදේශයේ සැකසහිත වෑන් රථයක් පිළිබඳව පොලිස් බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් අනුව පරීක්ෂා කරන්නට පෙර මෙය සිදු කරගෙන තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් වෙත දැනුම් දීමෙන් අනතුරුව සිදුකරන ලද මෙම මෙහෙයුමේදී සමන්තුරය ප්‍රදේශයේදී නිවසක් තුළ තිබී සැකකටයුතු දේපල රැසක් සොයා ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

පසුගිය දින සිදුවූ බෝම්බ ප්‍රහාරවල මරාගෙන මැරෙන බෝම්බකරුවන් යැයි සැකකරන පිරිසක් නිකුත් කළ බවට සැකකරන වීඩියෝ දර්ශනයේ දක්නට ලැබෙන එම පුද්ගලයන් ඇඳ සිටින ඇඳුම් වලට සමාන ඇඳුම් කට්ටලයකුත්,එමෙන්ම එම වීඩියෝ දර්ශනයේ පිටුපස තිරය බවට සැකකරන තිරයකුත්, ජෙලයිට් කූරු 150කට අධික ප්‍රමාණයකුත්, කුඩා යකඩ බෝල ලක්ෂයක් පමණ ප්‍රමාණයක්, සැකකටයුතු වෑන් රථයක්, ඩෝන කැමරාවක්, ලැප්ටොප් පරිඝණක 01ක් ඇතුළු දේපල රැසක් සොයා ගෙන ඇති බව පොලිසිය කියා සිටියා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *