අගමුල හොයාගන්න බැරි අමුතු ඝාතන දෙකක්; තවත් ‘පොලිස්’ වැඩක් දැයි සැක

පෑලියගොඩ දුටුගැමුණු මාවතේ පිහිටි එක්තරා කර්මාන්ත ශාලාවකි. වික්ටර් නමැති ආරක්ෂක නිලධාරියා ඉකුත් දෙසැම්බර් මස 13 වැනිදා උදෑසන සුපුරුදු පරිදි කර්මාන්ත භූමියේ සිය රාජකාරියේ යෙදෙමින් සිටියේය.

කළු පැහැති ගුලියක් වැනි යමක් කටින් ඩැහැ ගත් සුනඛයකු කර්මාන්ත ශාලා භූමියට ඇතුළු වනු වික්ටර් දුටුවේය. ඒ සමගම දැඩි දුර්ගන්ධයක් ද පැතිර යන්නට විය. වික්ටර් සුනඛයා අසලට කිට්ටු වුණේය. ඔහු සිතුවේ කිසියම් සත්වයකුගේ කුණු වී ගිය හිස කොටසක් සුනඛයා විසින් රැගෙන යන්නට ඇති බවය. එහෙත් වික්ටර් එක්වරම තුෂ්නීම්භුත වුණේය.

සුනඛයා රැගෙන ආවේ මිනිස් හිසක කොටසක් බව හඳුනා ගැනීමට වික්ටර්ට ඒ තරම් කාලයක් ගත වුණේ නැත. වහාම සුනඛයා පන්නා දැමූ වික්ටර් මිනිස් හිස කොටස පොලිතීන් බෑගයකින් ආවරණය කර මේ පිළිබඳව කර්මාන්ත ශාලාවේ ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

පෑලියගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න ප්‍රේමරත්න මහතා වෙත මේ මිනිස් හිස පිළිබඳ තොරතුරු ලැබෙන්නේ ඉන් අනතුරුවය. පොලිස් නිලධාරීහු වහාම කර්මාන්ත ශාලා භූමියට ගොස් මිනිස් හිස තමන් භාරයට ගත්හ.

පොලිසිය සිතුවේ මියගිය පුද්ගලයාගේ කඳ කොටස ඒ අවට කොතැනක හෝ ඇති බවය. පැය ගණනක් තිස්සේ ගැමුණු මාවත අවට ප්‍රදේශය පරීක්ෂා කළ ද ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ කඳ කොටස සොයා ගැනීමට පොලිසියට හැකි වුණේ නැත.

මෙම මිනිස් හිස කාගේදැයි හඳුනා ගැනීමට නොහැකි වන තරමටම එය කුණු වී තිබිණි. නාඳුනන පුද්ගලයාගේ මිනිස් හිස රෝහල් මෘත ශරීරාගාරය වෙත භාර කළ පෑලියගොඩ පොලිසිය මේ පිළිබඳව අවට පොලිස් ස්ථාන වෙත දැනුම් දීමක් කරන්නේ කිසියම් හෝඩුවක් දැනගැනීමේ අටියෙනි. නාඳුනන මිනිස් හිස පිළිබඳව මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරයක් ලබා දීමට පොලිසිය කටයුතු කළේය. දින කීපයකට පසු පාර්ශ්ව තුනක් මේ මිනිස් හිස හඳුනා ගැනීමට පෑලියගොඩ පොලිසිය වෙත පැමිණ සිටියහ.

මිනිස් හිස පරීක්ෂා කළ පාර්ශ්ව දෙකක්ම කියා සිටියේ ඒ තමන් හොයන පුද්ගලයා නොවන බවය. එහෙත් කඩුවෙල ප්‍රදේශයෙන් පැමිණ සිටි මවක සහ පුත‍්‍රයකු මේ මිනිස් හිස හඳුනා ගෙන තිබිණි. පෑලියගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න ප්‍රේමරත්න මහතා හමුවේ ඔවුන් මේ බව කීය.

සර් මේ ඉන්නෙ මගේ තාත්තා. ඒක මට විශ්වාසයි…

කුණු වී විකෘති වී ගිය මිනිස් හිස් කබල සෑහෙන වේලාවක් පරීක්ෂා කළ තරුණයකු එය තම පියාගේ හිස් කබල බව හඳුනා ගත්තේය.

සර් තාත්තා වැඩ කළේ කොල්ලූපිටියේ එපාර්ට්මන් එකක ඉන්න සුද්දෙක් ළඟ. පසුගිය දෙසැම්බර් 08 වැනිදා ඉඳලා තාත්තා ආගිය අතක් නැහැ. අපි මේ ගැන කොල්ලූපිටිය පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. ඒත් තාත්තා ගැන කිසිම හෝඩුවාවක් නැහැ. කවුරු හරි තාත්තාව මරලා දාලා. මේක තාත්තාගේ ඔළුවම තමයි.

තරුණයා දැඩි ලෙස හැඟුම්බර වෙමින් කීවේය. මේ මිනිස් හිසේ පලහිලව්ව බස්නාහිර උතුරු නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා හමුවටම ගොස් තිබිණි. ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න ප්‍රේමරත්න ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා දැනුවත් කළේය.

මේ විකෘති වෙලා ගිය මිනිස් හිස තමුන්ගේ තාත්තාගේ කියලා හඳුනා ගත්තට අපි ඒක විද්‍යාත්මකවත් ඔප්පු කර ගන්න ඕනේ. ඒ නිසා අපි DNA ටෙස්ට් එකක් කරලා මේක තහවුරු කර ගමු.

නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත මිනිස් හිස බොරැල්ල ජින්ටෙක් ආයතනය වෙත යොමු කළේය. තරුණයාගේ ශරීරයෙන් ලබා ගත් රුධිර සහ තවත් ජීව දත්ත කීපයක් ඔස්සේ DNA පරීක්ෂණයක් කළ ජින්ටෙක් ආයතනය මෙම පුද්ගලයා තරුණයාගේ පියාම බව තහවුරු කළේය.

මෙම මිනිස් හිස පිළිබඳව ඒ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ද දැනුම් දී තිබිණි. ඒ වනවිටත් අපරාධ කොට්ඨාසය කොල්ලූපිටියෙන් අතුරුදන් වූ අශෝක ක්‍රිෂාන්ත සිරිවර්ධන පිළිබඳ තොරතුරු සොයමින් සිටියේය.

කොළඹ අපරාධ කොට්ඨාසය සහ පෑලියගොඩ පොලිසිය එක්ව සිරිවර්ධනගේ හිස හමු වූ දුටුගැමුණු මාවත ඇතුළු අවට ප්‍රදේශ දැඩි පරීක්ෂාවට ලක් කළහ. එහිදී පොහොර බෑගයක දමා තිබූ අස්ථි කොටස් කීපයක් පොලිසියට සොයා ගත හැකි විය. මේ අස්ථි කොටස් ද බොරැල්ල ජින්ටෙක් ආයතනය වෙත යොමු කිරීමට කටයුතු කළේ ඒවා සිරිවර්ධනගේ අස්ථි ද යන්න සනාථ කර ගැනීමටය.

හතළිස්හය හැවිරිදි සිරිවර්ධන රියැදුරකු ලෙස රැකියාව කළේ මෙරට පදිංචිව සිටින බි‍්‍රතාන්‍ය ජාතිකයකු යටතේය. ස්ටීවන් නමැති බි‍්‍රතාන්‍ය ජාතිකයා පදිංචිව සිටියේ කොල්ලූපිටියේ පිහිටි ගෝල්ෆේස් කෝට් – 2 නමැති සුපිරි මහල් නිවාසයේ නිවසකය. ස්ටීවන්ගේ බිරිඳ වුණේ තායි ජාතික කාන්තාවකි. ආයෝජන මණ්ඩලයේ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිය ස්ටීවන් තම නිවසේ කටයුතු සඳහා සේවකයන් කීප දෙනකු යොදාගෙන තිබුණේය.

අශෝක සිරිවර්ධන මෙන්ම සේනක ශී‍්‍රලාල් ජයසිංහ ද බි‍්‍රතාන්‍ය ජාතිකයාගේ නිවසේ රියැදුරන් ලෙස රැකියාව කළහ. ඔවුන් දෙදෙනාට නවාතැන් ගැනීම සඳහා සුපිරි මහල් නිවාසයේම ඉස්තරම් කාමර දෙකක් ලබා දීමට තරම් ස්ටීවන් කාරුණික වී තිබුණේය. ඔහු සේවකයන්ට ඉතාම ගුණ යහපත් ස්වාමියකු විය. සිරිවර්ධන සහ සේනක ද තම ස්වාමියාට අවංකව සේවය කරමින් වසර ගණනක් මේ මහල් නිවාසයේ ගත කළහ.

මේ අතර සිරිවර්ධන හිටිහැටියේම අතුරුදන් වන්නේ ඉකුත් වසරේ දෙසැම්බර් මස 08 වැනිදාය. සිරිවර්ධනගේ බිරිඳ සහ දරුවන් දින ගණනක් තිස්සේ ඔහු පිළිබඳව සොයා බැලූව ද කිසිදු හෝඩුවාවක් නොවීය. මේ පිළිබඳව කොල්ලූපිටිය පොලිසිය ද පුළුල් විමර්ශනයක් කළේය.

සුපිරි මහල් නිවාසයේ CCTV කැමරා පද්ධතිය පවා පොලිස් නිලධාරීහු පරීක්ෂා කළහ. සිරිවර්ධන අතුරුදන් වූ දින ඔහු ස්ටීවන්ගේ වාහනය ගෝල්ෆේස් කෝට් – 2 නිවාස සංකීර්ණයේ රථ ගාලේ නතර කර ඉන් බැස යන අයුරු සටහන්ව තිබුණේය. එහෙත් එතැනින් පසු ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොවීය.

සිරිවර්ධනගේ හිස කොටස පෑලියගොඩින් හමුවන්නේ මේ අභිරහස් අතුරුදන් වීම සිදු වී දින පහකට පසු විය. ඒ වනවිට පොලිසිය සිරිවර්ධනගේ අතුරුදන් වීමත්, ඔහු ඝාතනය කිරීමත් පිළිබඳ කිසියම් හෝඩුවාවන් කීපයක් ලබාගෙන තිබුණේය. එහෙත් මේ සම්බන්ධ විමර්ශන කටයුතු කි‍්‍රයාත්මක වුණේ ඉබි ගමනින්ය. මේ අසරණයා පිළිබඳ සාක්ෂි ලබා දීමට කොල්ලූපිටිය පොලිසිය වෙත යෑමට ඇතැම් සාක්ෂිකරුවෝ මැලිකමක් දැක්වූහ.

සිරිවර්ධනගේ ඥාතීන් ද මේ අභිරහස් ඝාතනය පිළිබඳ කිසියම් සැක සංකා කීපයක් මතු කරගෙන සිටියහ. කොල්ලූපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් පවත්වන විමර්ශන කටයුතු නවතා එය කිරුලපන පොලිසිය වෙත භාරදීමට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා කටයුතු කර තිබුණේ මෙහි විමර්ශන කටයුතුවල පැවැති දුර්වලකම් නිසාය.

කිරුලපන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් සමරසිංහ මහතාගේ අධීක්ෂණයෙන් සිරිවර්ධනගේ අභිරහස් ඝාතනය පිළිබඳ විමර්ශන ඇරඹුණේ ඉන්පසුවය.

සිරිවර්ධනගේ හොඳම යාළුවා සේනක ශ්‍රීලාල්. මේ දෙන්නා එකම කාමරේ එකට හිටියෙ. සිරිවර්ධනගේ අතුරුදන් වීම ගැනත් මේ මරණය ගැනත් සේනක මොනවා හරි දැනගන්න ඕනෙ. සේනකගේ ස්ටේට්මන්ට් එකක් ලියන්න උපුල් සමරසිංහ මහතාගේ උපදෙස් මත කිරුලපන පොලිසියේ අපරාධ අංශය සේනක ශ්‍රීලාල්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්න පටන් ගත්තේය. සේනක ද තම මිතුරාගේ ඝාතනය පිළිබඳව දන්නා කරුණු කාරණා කිරුලපන පොලිසිය හමුවේ එකින් එක හෙළි කරන්න වුණේය.

සර් මේ තොරතුරු කොල්ලූපිටිය පොලිසියට කියන්න අපි බයෙන් හිටියෙ. මේවා කොයි පැත්තට කැරකෙයි ද දන්නෙ නැහැනෙ. දැන් ප්‍රශ්නයක් නැහැ. මම දන්න හැම දෙයක්ම කියන්නම්…

සේනක කිරුලපන පොලිසියේ නිලධාරීන් හමුවේ කියා සිටියේය.

සර් සිරිවර්ධන ගෑනු කීප දෙනෙක් එක්කම ඇයි හොඳයිකම් පැවැත්වුවා. ඒ අය සිරිවර්ධන හම්බ වෙන්න සමහර වෙලාවට අපි ඉන්න කාමරේටත් එනවා.

පොලිසියේ ලොකු මහත්තයෙක් දවසක් සිරිවර්ධනව එයාගේ කාර් එකේ බලෙන් දාගෙන යන්න හදලා තියනවා. ඒත් සිරිවර්ධන ඒ වාහනේ ගිහින් නැහැ. මේ ගැන සිර්වර්ධන හැම විස්තරයක්ම මා එක්ක කියල තිබුණා.

පොලිස් ලොක්කගේ නෝනත් එක්ක තිබුණු සම්බන්ධය ගැන ඒ ලොක්කාට ආරංචි වෙලා තිබුණා. ඒත් නෝනා සිරිවර්ධනව ආශ‍්‍රය කරන එක නතර කළේ නැහැ.

සේනක ශී‍්‍රලාල් පොලිසිය වෙත ලබා දී තිබූ තොරතුරු ඉතාම වැදගත් ඒවා විය. සිරිවර්ධනගේ ඝාතනයට සම්බන්ධ විමර්ශන කටයුතු අලූත් මඟකට යොමු වන්නට පටන් ගත්තේ එතැන් සිටය.

සේනක ලබාදුන් තොරතුරු පොලිසිය පියවරෙන් පියවර විශ්ලේෂණය කරන්න පටන් ගත්තේය.

සිරිවර්ධන කොළඹ ප්‍රදේශයේ පොලිස් ලොක්කකුගේ බිරිඳක් සමඟ කිසියම් හාදකමක් පවත්වාගෙන ගොස් තිබුණේය. මේ තරුණ බිරිඳ සිරිවර්ධන හමුවීමට ගෝල්ෆේස් කෝට් – 2 මහල් නිවාසය වෙත ද නිතර ආවාය.

මේ රහසිගත ප්‍රේමය පසු කාලයක හෙළි වන්නේ ගැටලූ රැසකට අඩිතාලම දමමින්ය. පොලිස් ලොක්කා සිරිවර්ධන පිළිබඳ සියලූ තොරතුරු හෙළි කරගෙන තිබුණේය.

වරක් ඔහු සිරිවර්ධන තම මෝටර් රථයේ දමාගෙන යෑමට උත්සාහ ගත්තේය. එහෙත් සිරිවර්ධන ඉන් ගැලවී පලා ගොස් තිබුණේය. සිරිවර්ධන මේ සියලූ තොරතුරු තම කළ්‍යාණ මිතුරා වූ සේනක ශී‍්‍රලාල්ට කියා තිබුණේ තමන්ට කිසියම් අනතුරකට මුහුණ දීමට ඉඩ ඇති බව ද පවසමින්ය.

සිරිවර්ධනගේ කවන්ධය නොමැති හිස කොටස පෑලියගොඩින් මතු වන්නේ මේ අතරතුරදීය. සේනක ශී‍්‍රලාල් තමන් දන්නා සියලූ කරුණු කාරණා කිරුලපන පොලිසිය හමුවේ හෙළි කළේ සිරිවර්ධනට සිදු වූයේ කුමක්ද යන්න සොයා ගැනීම සඳහාය.

සේනක ශී‍්‍රලාල්ගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන වැඩි දවසක් ගත වුණේ නැත. පසුගිය ජනවාරි 19 වැනිදා ගෝල්ෆේස් කෝට් – 2 සුපිරි නිවාස සංකීර්ණයට නැවතත් ගිනියම් වූ සිදුවීමක් වාර්තා වුණේය.

ගෝල්ෆේස් කෝට් – 2 නිවාස සංකීර්ණයේ පිහිටි කාමරයක සේනක ශී‍්‍රලාල් අභිරහස් අන්දමින් ඝාතනය කර තිබුණේය. සේනකගේ සිරුරට ගිනි තබා තිබූ අතර සිරුරේ සෑහෙන ප්‍රමාණයක් දැඩි ලෙස පිළිස්සී ගොස් තිබිණි. බැලූ බැල්මට මෙය පෙනෙන්නට තිබුණේ ගිනි තබාගෙන සියදිවි හානි කර ගැනීමක් ලෙසය.

එහෙත් සේනකගේ අභිරහස් මරණයේ මූලික විමර්ශනවලින් හෙළිව තිබුණේ ඔහුගේ ගෙල සිරකර ඝාතනය කර පසුව සිරුරට ගිනි තබා ඇති බවයි.

එමෙන්ම සේනකගේ මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂකවරයා ලබා දී තිබුණේ විවෘත තීන්දුවකි. සේනකගේ අභිරහස් මරණය සිදු වී මේ වන විට මාස එකහමාරකට වැඩි කාලයක් ගත වී තිබුණද ඒ පිළිබඳ මරණ පරීක්‍ෂණ වාර්තාව තවමත් ලැබී නැත.

මේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වූ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දීමට නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා කටයුතු කරන්නේ මේ ඝාතන පිටුපස කිසියම් අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවට යම් ඉගියක් ලැබීම නිසා විය යුතුය.

සේනකගේ සහ සිරිවර්ධනගේ අභිරහස් මරණ පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන ආරම්භ වුණේය.

කොළඹ අපරාධ කොට්ඨාසය සිරිවර්ධනගේ සහ සේනකගේ ස්වාමියා වන ස්ටීවන්ගෙන් ද ප‍්‍රශ්න කළහ. ස්ටීවන්ගේ තායි ජාතික බිරිඳගෙන්ද ප්‍රකාශ ලබා ගත්හ. පොලිසියට මොවුන් පිළිබඳව ද කිසියම් සැකයක් මතුව තිබුණේය.

ස්ටීවන් යුවළ රටින් පිටවීම වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක්ද ලබා ගන්නට අපරාධ කොට්ඨාසය කටයුතු කර තිබුණේ මේ අභිරහස් මරණ පිළිබඳව මතුවෙමින් තිබු සැකය නිසාය.

මෙලනි බර්නඩීන් පෙරේරා නැමති කාන්තාවක් ගෝල්ෆේස් කෝට් -1 සුපිරි නිවාස සංකීර්ණයේ හිමිකරුගේ නිවසේ රැකියාවක් කළාය. හිමිකරුගේ නිවස පිහිටා තිබුණේ ගෝල් ෆේස් කෝට් -1 කොටසේය.

මෙලනි බර්නඩීන්ට පැවරී තිබුණේ මහල් නිවාස හිමියාගේ නිවසේ සුරතලයට ඇති දැඩි කරන බල්ලන් සහ පූසන් රැකබලා ගැනීමය.

මෙලනි බර්නඩීන් සමග ද සිරිවර්ධන ඇයි හොඳයි පැවැත් වූ බව පොලිසිය සොයාගෙන තිබුණේය. කොළඹ අපරාධ කොට්ඨාසය මෙලනි බර්නඩීන් ගෙන්වා ඇගෙන් ද ප‍්‍රශ්න කිරීමට පටන් ගත්තේ මේ අභිරහස් මිනීමැරුම් සම්බන්ධයෙන් කිසියම් හෝඩුවාවක් දැනගැනීම සඳහාය.

මෙලනි බර්නඩීන්ගේ ඉතිහාසයද ඒ තරම් යහපත් එකක් නොවීය.

සුරූපිනියක වූ මෙලනි ලන්සි කාන්තාවකි. කලක් ඇය පදිංචිව සිටියේ මීගමුව ප්‍රදේශයේය. ඇය මීගමුවේ රූපලාවන්‍යාගාරයක් පවත්වා ගෙන යමින් යහමින් මුදල් ඉපයුවාය.

2014 වර්ෂයේදී වූ සිදුවීමකින් මෙලනිගේ ජීවිතය උඩුයටිකුරු වුවාය. ඒ වන විට ඇය සිය සැමියා සහ දියණියද සමග පදිංචිව සිටියේ මීගමුවේ පිහිටි නිවසකය.

මීගමුවේ පාසලක සේවය කරන ගුරුවරියක මෙලනිගේ රූපලාවන්‍යාගාරය වෙත පැමිණ කොණ්ඩය සකසා ගැනීමට මෙන්ම ෆේෂල් කිරීමටද පුරුදුව සිටියාය.

දිනක් මේ ගුරුවරිය මෙලනිගේ රූපලාවන්‍යාගාරය වෙත පැමිණියේ කොණ්ඩය සකසා ගැනීමටය. මෙලනි මේ ගුරුවරියගේ කොණ්ඩය සකසද්දී ඇය හදිසියේම මිය යන්නේ කිසියම් ඩයිවර්ගයක් විෂ වීම නිසාය.

ගුරුවරිය මියයෑම නිසා දැඩි ලෙස බියට පත් වූ මෙලනි මේ බව පොලිසියට නොකියා යමක් කිරීමට සැලසුම් කළාය.

තමන් දන්නා හඳුනන පුද්ගලයකු ගෙන්වාගෙන ගුරුවරියගේ සිරුර නිවසේ තිබූ පෙට්ටියකට දැමුවාය. මේ පෙට්ටිය සෙල්ලං බඩු දැමීම සඳහා පාවිච්චි කළ එකකි. පසුව ගුරුවරියගේ මළ සිරුර එදින රාත‍්‍රියේම හොර රහසේ රැගෙන ගොස් වත්තල ප්‍රදේශයේ පාලූ ස්ථානයක දමා ඒමට මෙලනි කටයුතු කළේ මෙය සදාකාලිකව යටපත් වී යන සිද්ධියක් වෙතැයි සිතාගෙනය.

නාඳුනන කාන්තාවකගේ මළ සිරුර සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ වත්තල පොලිසිය වැඩි දවසක් ගත වන්නට පෙර මේ අභිරහස් මරණය පිළිබඳ සියලූ තොරතුරු හෙළි කර ගත්හ.

මරණයට පත් වූ ගුරුවරියගේ ජංගම දුරකථනය මෙන්ම ඇගේ මළ සිරුර ගෙනැවිත් දමා තිබූ ලී පෙට්ටියේ යට පැටලී තිබූ සෙල්ලං බඩුවක කොටසක් ඔස්සේ ඉතාම සූක්‍ෂ්ම ලෙස විමර්ශන කළ පොලිසිය මෙලනි නමැති කාන්තාව මේ මරණය පිටුපස සිටින බව සොයා ගත්හ. පසුව පොලිසිය මෙලනි අත්අඩංගුවට ගත්තේය.

ගුරුවරිය පාවිච්චි කළ ජංගම දුරකථනය මෙලනි තම දියණියගේ පාවිච්චියට ලබා දී තිබුණි. මේ මරණය පිටුපස මෙලනි සිටින බව පොලිසිය මුලින්ම සොයා ගන්නේ ගුරුවරියට අයත්ව තිබූ ජංගම දුරකථනය ඔස්සේ කළ විමර්ශනවලදීය.

ගුරුවරියගේ සිරුර දමාගෙන ආ ලීයෙන් සකස් කළ පෙට්ටිය යට කොටසේ පැටලී තිබූ සෙල්ලං බඩුවක කොටස සොයාගෙන තිබු පොලිසිය එහි ඉතිරි කොටස මෙලනිගේ නිවසේ තිබී සොයා ගත්තේය.

ගුරුවරියගේ මරණය මෙලනිගේ නිවසේදී සිදු වූ බවත් සිරුර ලී පෙට්ටියක දමා ඇත්තේ ද එහිදී බවත් ඉන් තහවුරු විය.

ගුරුවරියගේ මරණය පිළිබඳ බොහෝ තොරතුරු පොලිසිය ඒ වන විට හෙළිකරගෙන තිබූ නිසා මෙලනි සත්‍ය අනාවරණය කරන්න ඉදිරිපත් වූවාය.

ගුරුවරියගේ මරණය සම්බන්ධයෙන් මෙලනි කලක් බන්ධනාගාරගත කළාය. ඒ වන විට මීගමුවේ තිබූ ඇගේ රූපලාවන්‍යාගාරයද වැසී ගොස් තිබිණි.

මෙලනි මේ සියල්ල අතහැර කොළඹට සේන්දු වන්නේ ඉන් පසුවය. මෙලනි සුරතල් සතුන්ට දැක්වූයේ අසීමිත ආදරයකි. සෙනෙහසකි. ගෝල් ෆේස් කෝට් මහල් නිවාස සංකීර්ණයේ හිමිකරුගේ නිවසේ සුරතල් සතුන් බලා ගැනීමේ රැකියාව ඇය ලබා ගන්නේ සතුන්ට දැක් වූ දැඩි සෙනෙහස නිසාමය.

මෙලනිට මහල් නිවාස සංකීර්ණයේ විදේශිකයකු යටතේ සේවය කරන සිරිවර්ධන සහ සේනක ශ්‍රීලාල් දැන හඳුනා ගන්නට ලැබෙන්නේ ඔය අතරතුරදීය.

වැඩි කාලයක් නොගොස් මෙලනි සිරිවර්ධනට සමීප වූවාය. කාන්තාවන් ඇසුරට මෙන්ම ඔවුන් සමග දුක සැප බෙදා ගැනීමට සිරිවර්ධන දැක් වූයේ දැඩි කැමැත්තකි.

ඒ නිසාම ඔහු ද සුරූපී මෙලනිට දිනෙන් දින කිට්ටු වූවේය. සිරිවර්ධනගේ පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ ගැන පවා මෙලනි දැන සිටියාය.

මෙලනි ද තමන්ට අත්විඳීමට සිදු වූ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් සිරිවර්ධනයට නොවලහා කියා සිටියේ තම හිත සැහැල්ලූ කර ගන්නා අටියෙන්ය.

අශෝක සිරිවර්ධන මෙන්ම සේනක ශ්‍රීලාල් සමීපව ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය විමසිලිමත් වුහ. ගෝල්ෆේස් කෝට් මහල් නිවාසයේ හිමිකරුගේ නිවසේ සේවය කරන මෙලනි පිළිබඳව අපරාධ කොට්ඨාසය වෙත තොරතුරු ලැබෙන්නේ මේ අතරතුරදීය.

මෙලනිගෙ ඉතිහාසය එච්චර හොඳ නැහැ. සැලූන් එකේදී මැරුණු ටීචර්ගෙ මිනිය වත්තලට ගෙනිහින් දාලා අත පිස දාගෙන හිටිය ගෑනිට ඊට එහා දෙයක් වුණත් කරන්න පුළුවන්. ඒ නිසා අපිට මෙලනිගෙන් වැදගත් යමක් ගන්න පුළුවන් වෙයි.

කොළඹ අපරාධ කොට්ඨාසය පෙබරවාරි 01 වැනිදා මෙලනි කැඳෙව්වේය. අභිරහස් මිනීමැරුම් දෙක සම්බන්ධයෙන් අපරාධ කොට්ඨාසය මෙලනිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වුහ.

මෙලනි කිසියම් වැදගත්යමක් සගවන බව පොලිස් නිලධාරීන්ට සිතුණේ ඇතැම් ප්‍රශ්න කිරීම් හමුවේ ඇය නිරුත්තර වීම නිසාය. මෙලනිගේ හැසිරීම කෙරෙහිද ඒ වන විට පොලිස් නිලධාරීන් තුළ විවිධ සැක සංකා මතු කිරීමට හේතු විය.

මෙලනිගේ අතීත සිදුවීම්ද අපරාධ කොට්ඨාසය එකින් එක විමර්ශනය කරන්නට ගන්නේ මේ ද්විත්ව ඝාතන සිද්ධියට මෙලනිගේ කිසියම් සම්බන්ධයක් තිබේද යන්න සැකහැර ගැනීම සඳහාය.

පොලිස් නිලධාරීන් තුළ ජනිත වෙමින් තිබූ සැක සංකා නිසාම මෙලනි පසුපස පොලිසිය ලූහුබඳින්නට පටන් ගත්හ.

මේ අතර අභිරහස් මිනිස් ඝාතන විමර්ශන උඩුයටිකුරු කරවන සිදු වීමක් පසුගිය 19 වැනිදා කොල්ලූපිටියෙන් වාර්තා වුණේය.

කොල්ලූපිටිය දුම්රිය මාර්ගය අසල බරපතල තුවාල ලබා මෙලනි බර්නඩීන් වැටී සිටියේ මේ අභිරහස් සිදු වීම්වලට තවත් එක් අභිරහසක් එක් කරමින්ය.

දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා සිහිමුර්ජා තත්ත්වයෙන් පසුවන මෙලනි මේ වන විට සිටින්නේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින්ය.

කොල්ලූපිටිය ගෝල්ෆේස් කෝට් නිවාස සංකීර්ණය කේන්ද්‍ර කරගෙන පසුගිය මාස දෙකක කාල සීමාව පුරා සිදු වූ මේ අභිරහස් සිදුවීම්වලට මේ වනතුරුත් පිළිතුරු ලැබී නැත.

මේ සිදුවීම් සියල්ල පිටුපස කිසියම් අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව පැහැදිලිය. කොළඹ අපරාධ කොට්ඨාසය සිටින්නේද ඒ මතයේය.

අශෝක සිරිවර්ධන ඝාතනය කර කඳෙන් වෙන් කළ හිස කොටස් පෑලියගොඩට ගෙනැවිත් දැම්මේ කවුරුන්ද යන්න මෙතෙක් හෙළි වී නොමැත. සිරිවර්ධනගේ ඝාතනය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළි කළ තවත් හෙළි නොකළ තොරතුරු රැසක් පිළිබඳව දැන සිටි සේනක ශ්‍රීලාල් අභිරහස් ලෙස ඝාතනය වීම උභතෝකෝටික ප්‍රශ්නයකි.

මේ සියලූ කරුණු කාරණා පිළිබඳව දැන සිටි මෙලනි බර්නඩීන් දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා සිහිමූර්ජා තත්ත්වයෙන් සිටීම තවත් ප්‍රහේළිකාවක් බවට පත්ව තිබෙන්නේය.

කිසියම් පුද්ගලයකු තමන් සිදු කළ එක අපරාධයක් වසන් කිරීම සඳහා මේ සියලූ අපරාධ සිදු කරන්නේ ද යන්න සැකයක් පොලිසිය වෙත මතු වී තිබෙයි.

එහෙත් කිසියම් අපරාධයක් සිදුකර එය සදාකාලිකව වසන් කරගෙන සිටීම කළ නොහැක.

මේ සියලූ සිදුවීම් එක බැඳී ඇති එකම ආකාරයකට සිදු වු අපරධ ගොන්නක් බව පැහැදිලිය. අපරාධ සියල්ල එකිනෙකට සම්බන්ධ වූ ඒවා බව ද හෙළිව තිබෙයි.

එවැනි අපරාධ වැලක් සාමාන්‍ය පුද්ගලයකුට කළ නොහැක. සිරිවර්ධන මරා දමා ඔහුගේ හිස කොටස පෑලියගොඩ ප්‍රදේශයේ ලඳු කැලෑවකට ගෙන ගොස් දමා ඔහුගේ කඳ කොටස වෙනත් ප්‍රදේශයක් වෙත ගෙන ගොස් සැගවීම සාමාන්‍ය පුද්ගලයකුට කළ නොහැක.

එමෙන්ම සේනක ශ්‍රීලාල් මහල් නිවාසයේ කාමරය තුළදීම ගෙල සිර කර මරා දමා සිරුරට ගිනි තැබීම ද ලෙහෙසියෙන් කළ හැකි ක්‍රියාවක් නොවන්නේය.

මේ වන විට කෙරීගෙන ගොස් තිබෙන විමර්ශනවලට අනුව පොලිසියේ ඇගිල්ල දිගු වන්නේ පොලිසිය වෙතටය. සිරිවර්ධන සමග ආරවුලක් ඇති කරගෙන සිටි උසස් පොලිස් නිලධාරියා අපරාධවල පිටුපස සිටින බවට සැක සංකා විමර්ශන කණ්ඩායම් වෙත මතුව තිබෙයි. එය සත්‍යයක් නම් මේ අපරාධය තවත් අගුලානක් වනු නියතය.

– හේමන්ත රන්දුණු –

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *