විදුලි කප්පාදුවේ කාලය දිගු වන ලකුණු

දෛනික විදුලි කප්පාදුව පැය 03ක පමණ කාලයක් විය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, නොරෝච්චෝලේ බලාගාරයෙන් ජාතික පද්ධතියට සැපයෙන විදුලි ධාරිතාව අහිමි වීම හේතුවෙන් එම තීරණය ගැනීමට සිදුවන බවය.

දැනට පැයයි විනාඩි 20ක කාලයක් පමණක් විදුලි කප්පාදුව සිදුකෙරේ.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු අදියරේ ජනන කටයුතු මේ වනවිට බිඳ වැටී තිබේ.

එය යථාතත්වයට පත්කිරීම සඳහා තාක්ෂණික කාර්ය මණ්ඩල කටයුතු කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

බිඳවැටීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270ක ධාරිතාවක් අහිමි වී තිබේ.

නොරෝච්චෝලේ බලාගාරයේ පළමු අදියර යථාතත්ත්වයට පත්කිරීම සඳහා සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව වාර්තා වේ.

එමෙන්ම නොරොච්චෝලේ බලාගාරයේ දෙවන අදියර ද නඩත්තු කටයුතු හේතුවෙන් අක්‍රීය කර ඇති අතර තුන්වන අදියරේ කටයුතු පමණක් මේ වන විට ක්‍රියාත්මක වේ.

ඒ අනුව ජාතික විදුලිබල පද්ධතියට නොරොච්චෝලේ බලාගාරයෙන් සැපයෙන්නේ මෙගාවොට් 270ක ධාරිතාවයක් පමණයි.

කෙසේවෙතත් යුගදනවි සහ අනෙකුත් ඉන්ධන බලාගාර මඟින් විදුලි සැපයුම කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *