ඔහු අසූ දෙහැවිරිදි ය. විශ්‍රාම ගැනීමට ඔහු තවමත් සූදානම් නැත. ඔහු දේශපාලන නායකයෙකි.
මේ ජනාධිපතිවරයා හදිසි හෘදයාබාධයකට ගොදුරු වූයේ 2013 වසරේදී ය. එවක් පටන් ඔහු අංශභාග රෝගියෙකි. බෙලහීන ය. එදා මෙදා තුර ඔහු ජනතාව ඉදිරියේ පෙනී සිටියේ නැත. ජනතාව අමතා නැත.
එය එසේ වී නමුදු ඉදිරි ජනාධිපතිවරණයට ඔහු තරග වදිනු ඇත. ජය ගතහොත් එය ඔහුගේ පස්වන ධුර සමය වනු ඇත. නොකඩවා බලයේ සිටි කාලය වසර 20ක් වනු ඇත.
කලාපීය නිරීක්ෂකයන්ගේ අනාවැකිය වී ඇත්තේ මේ ජනාධිපතිවරයා යළිත් වතාවක් ජනාධිපතිධුරයට පත්වන බවය. ඔහු ඇල්ජීරියාවේ ජනාධිපති අබ්දුලසීස් බූටෆ්ලිකා ය.
ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අප්‍රේල් 18 වනදා ය. නමුත් මහජනතාව මේවනවිට කෝප වී ඇත.
මේ රෝගාතුර ජනාධිපතිවරයාට එරෙහිව පසුගිය සති අන්තයේ වීදි බට ජනතාව සිය කෝපය ප්‍රසිද්ධියේ මුදා හළහ. ඉන් බහුතරය තරුණ තරුණියෝ වූහ. නමුත් ඔවුන්ගේ සටන් පාඨ ජනාධිපතිවරයාට නම් නොඇසෙනු ඇත. රෝගාතුර ජනාධිපතිවරයා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් මේවනවිට සිටින්නේ ස්විට්සර්ලන්තයේ ය.
අබ්දුලසීස් බූටෆ්ලිකා ගේ පාලනය දරුණු ලෙස විවේචනයට ලක් කරන විචාරකයන් මොහු හඳුන්වන්නේ “ඇවිදින මළමිනිය” යන අන්වර්ථ නාමයෙනි. ප්‍රසිද්ධ වේදිකාව මතට එන්නේ ජනාධිපති බූටෆ්ලිකා ගේ දැවැන්ත ඡායාරූපයක් පමණි.
ඉදිරි ජනාධිපතිවරණයටත් අපේක්ෂකයා තමන් බව ඔහු ප්‍රසිද්ධියට පත් කළේ රාමුකරන ලද ඡායාරූපයක් ජනතාව ඉදිරියේ තබමිනි.
රටේ ජනාධිපතිවරයා ස්ථිර වශයෙන්ම තවමත් ජීවතුන් අතර සිටින බවට ජනතාවට සනාථ කිරීම සඳහා පැරිසියේ සිටින ඇල්ජීරියානු තානාපතිවරයාට විශේෂ නිවේදනයක් පවා නිකුත් කරන්නට සිදු විය. එය සිදුවූයේ පසුගිය සඳුදා (මාර්තු 04) ය.
ඇල්ජීරියාවේ ජනාධිපතිවරයා ගේ තත්ත්වය මෙසේ නම් රට පාලනය කරන්නේ කවුරුන් ද?
“රටේ පාලනය සිදුවෙන්නේ ‘බලය’ මගින්. ‘බලය’ කියන්නේ කණ්ඩායමක්. ඉහළම හමුදා නිලධාරීන් සහ රටේ ප්‍රබල ව්‍යාපාරිකයන් පිරිසක් මේ කණ්ඩායමේ ඉන්නවා. ඔවුන් තමයි තීරණ ගන්නේ.” බීබීසී මාධ්‍යවේදී මොහමඞ් යෙහියා විස්තර කළේය.
ඇතැම් විචාරකයන් පවසන්නේ පෞද්ගලික ව්‍යාපාරයක් ලෙසින් රටේ පාලනය සිදුවන බවය.
“රජයේ ආයතන දැන් පාලනය වන්නේ පෞද්ගලික ව්‍යාපාර වගේ. රටේ පාලනය මෙහෙයවන කණ්ඩායමට නායකත්වය දෙන්නේ ජනාධිපතිවරයාගේ බාල සහෝදරයා. හමුදා ප්‍රධානියාත් එහි සිටිනවා.” ක්‍රිස්ටිනා මාස් පවසන්නීය. ඇය උතුරු අප්‍රිකානු දේශපාලනය පිළිබඳ විශ්ලේෂකයෙකි.
ඇල්ජීරියාවේ සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 15 ට අඩු ය. තරුණ තරුණියන්ගෙන් 25%ක් රැකියා විරහිත ය.
ඇල්ජීරියාවේ මාධ්‍ය පවසන පරිදි මේ වන විට උත්සන්න වී ඇති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ, දශක තුනක් ඇතුළත මතු වූ විශාලතම විරෝධතාව යි. මීට ප්‍රධාන වශයෙන් නායකත්වය ලබා දෙන්නේ තරුණ සහ ශිෂ්‍ය නියෝජනය යි.