ජනපතිවරණයේ TNA සහය ජවිපෙට?

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම කාලයක් තිස්සේ රටේ ජනතාව රැවටීම හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව වුවද සිතීමේ හැකියාව පවතින බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඥානමුත්තු ශ්‍රී නේසන් මහතා සඳහන් කරන්නේ එබැවින් මෙවර ජනාධිපතිවරණයේදී ඇස් දෙක පියාගෙන කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය කටයුතු නොකරන බවයි.

මීළඟ ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය කවරකුට සහාය ලබාදෙන්නේද යන්න පිළිබඳව මෙතෙක් තීරණය කොට නොමැති අතර විශේෂයෙන් සියලු ජනාධිපති අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රකාශ කියවා සමාලෝචනය කිරීමෙන් පසුව සිය පක්ෂයේ සහාය කවරකුට ලබාදෙනවාද යන්න පිළිබඳව තීරණය කරන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ මන්මුනෙයි ප්‍රදේශයේ පැවැති සංවර්ධන ව්‍යාපෘතියක ආරම්භක උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද කීය.

තමන්ගේ ඇස් බැඳගෙන වරදරාජා, පෙරුමාල්, ඩග්ලස් දේවානන්දා, කරුණා අම්මාන්, පිල්ලෙයාන්ලා විසින් සිදුකරනු ලබන ප්‍රකාශ පසුපස්සේ යෑමට අපගේ ජනතාව සූදානම් නැහැ. ඔවුන් ජනාධිපති අපේක්ෂකයන්ට සහාය ලබාදෙන්නේ තමන්ගේ සුඛවිහරණය සඳහා පමණයි. එබැවින් එය දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් වන ක්‍රියාමාර්ගයක් වන්නේ නැහැ.

දෙමළ ජනතාවට තමන්ගේ කලාව, සංස්කෘතිය රැකගත හැකි වන පරිදි ඉඩම්, පොලිස් බලතල ලබාගත හැකි ආකාරයේ විසඳුම්වලට එළැඹිය යුතුයි. මේ කාරණයේදී එක්සත් ජාතික පක්ෂය කොතරම් දුරට සිතන්නේද යන්න පිළිබඳව දැනගැනීම දෙමළ ජාතික සන්ධානය ලෙස අපට ඉතා වැදගත්. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාත් ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා හුදෙක් ආර්ථික සංවර්ධනය පිළිබඳව පමණක් ප්‍රතිපත්තිවලට පමණක් සීමා නොවී ජාතික ගැටලුවට විසඳුම් ඉදිරිපත් කළ අයෙක් විය යුතු යැයි අපි අපේක්ෂා කරනවා. මෙම කාරණය පිළිබඳව ඉතා ගැඹුරින් සමලෝචනය කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය කවරකුට සහාය ලබා දෙන්නේද යන්න තීරණය කරනු ලබනවා.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම කාලයක් තිස්සේ ජනතාව රැවටීම හේතුවෙන් දෙමළ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව සිතීමේ අවස්ථාද තිබෙනවා. එබැවින් අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙමළ ජනතාව වෙනුවෙන් කවරක් ලබාදෙනු ඇද්දැයි අපි බලා සිටිනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *